විග්නේෂ්වරන්ට එරෙහි විරෝධතාවය උණුසුම් වෙයි


(රොමේෂ් මධුෂංඛ,සිතුම් චතුරංග)
උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් අත්තනෝමතිකව උතුරු පළත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බව කියමින් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක් අද(19) වව්නියාවේ විරෝධතාවක නිරත වූහ.
වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව ආසන්නයට උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ ඊට විරෝධය පෑමත් සමග දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.
උතුරු මහඇමතිට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී මහඇමතිවරයා විසින් අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවත් වහාම එම තීරණය ඉවත්කරගත යුතු බවත්ය.
උතුරු මහඇමතිට පක්ෂ ක්‍රියාකාරීහු කියා සිටියේ උතුරු පළාත් සභාවේ සිටි දූෂකයින් පලවා හැරීමට මහඇමතිගේ තීරණය අගය කරන බවත් විග්නේෂවරන් ඉදිරියටද මහඇමති වශයෙන්ම සිටිය යුතු බවත් ඔහුට එරෙහිවීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්ය.