විග්නේෂ්වරන් වැරදිකරුවන් ආරක්ෂා කළ බව සුමන්තිරන් කියයි


සිරාජ් හසීම් 

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධානතම හේතුව දූෂණ චෝදනා සනාථ වූ සිය සමීප අමාත්‍යවරුන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් නිර්දෝෂී යැයි සනාථ වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යධූර අත්හිටුවීම බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය.
 
දූෂණ වංචා වලට සම්බන්ධ අමාත්‍යවරුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම හේතුකර ගනිමින් තමිල් අරසු කච්චි පක්ෂය විසින් විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන එනු ලැබුවේ යැයි කියන චෝදනාව පදනම් විරහිත බවද හෙතෙම කීවේය.
 
මහ ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කර සිටියේය.
 
‘ මුල් කාලයේදීම උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන්ට විරුද්ධව දූෂණ චෝදනා එල්ල වූ හෙයින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගතයුතු යැයි අප නියෝජිතයින් බලකර සිටියා. තමන්ට වඩාත් සමීපතමයෙකු වන අයිංගරනේසන්ට එරෙහිව මහ ඇමතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරුද්ධව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි බලකරමින් යෝජනාවක් ද සම්මත කරගත්තා. ඊට තමිල් අරසු කච්චි පක්ෂයේ අප නියෝජිතයින් මූලිකත්වය ගනු ලැබුවා .  අපගේ දැඩි බලපෑම මැදයි මහ ඇමතිවරයා ඒ ගැන විමර්ශනය කරන්න විමර්ශන කමිටුවක් පත්කරනු ලැබුවේ. ඒ අවස්ථාවේදී දූෂණ චෝදනා එල්ල වී තිබුණේ අයිංගරනේසන්ට පමණයි. සියළු අමාත්‍යවරුන්ට විමර්ශනයන් සිදුකිරීමට මහ ඇමතිවරයා පියවර ගනු ලැබුවේද සිය සමීප අයිංගරනේසන් බේරා ගැනීම සදහායි.
 
විමර්ශනය අවසානයේ අයිංගරනේසන් පමණක් දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා සිද්ධීන්හි වරදකරු බවට පත්වුනා. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී.ගුරුකුලරාජාත්  බලතල අනිසි ලෙස උපයෝගී කරගනිමින් අකටයුතුකම් සිදුකිරීමේ චෝදනාවේ වරදකරුවෙකු බව හෙලි වුනා. සෙසු අමාත්‍යවරුන් දෙදෙනා සියළු චෝදනාවන්ගෙන් නිදහස් වුනා.
 
පසුගිය මැයි 19 වනදා මහ ඇමති විග්නේෂ්වරන්ට මේ වාර්තාව බාර දුන් අවස්ථාවේදී චෝදනා සනාථ වූ සිය සමීප අමාත්‍යවරුන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් ඒ වාර්තාව සැගවීමට උත්සහා දැරුවා. ජාතික පුවත්පත් දෙකක් තුළින් අනාවරණය වූ පසුවයි මහ ඇමතිවරයා මේ වාර්තාව පළාත් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. මේ නිසාවෙන් තමයි දූෂිත වරදකරුවන් ආරක්ෂාකරන බවට මහ ඇමතිවරයාට අපේ නියෝජිතයින් චෝදනා එල්ල කරනු ලැබුවේ. දූෂණ චෝදනාවන්ට වරදකරුවන් වූ අමාත්‍යවරුන්ට එරෙහිව පියවර ගත යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අප ද ඇගිලි නොගසන බවත් ඒ අවස්ථාවේදී අප පැහැදිලිව සදහන් කර සිටියා.
 
මහ ඇමති විග්නේෂ්වරන් වරදකරුවන් ආරක්ෂා කර ගැනීමේ සිය ප්‍රයත්නය වෙනස් මුහුණුවරකින් ආරම්භ කළේ මේ අතරෙයි. වරදකරුවන් වූ අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගනිමින් අමාත්‍යවරුන් සිව් දෙනාම   ඉවත් කිරීමට යෝජනා කළා. වරදකරුවන් සමගින්ම චෝදනාවලින් නිදහස් බවට සනාථ වූ අයගේ ද තනතුරු ඉවත් කිරීම වැරදිකරුවන් ආරක්ෂා කරගැනීමේ එක් ක්‍රමයක්. මහ ඇමතිවරයා ගියේ ඒ ක්‍රමයෙයි. ඔහුගේ මෙම යෝජනාව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හැර සෙසු පක්ෂ ත්‍රිත්වයේම නායකයින් දැන සිටියා. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විමසීමෙන් පසුවයි මහ ඇමතිවරයා තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා සමගින් කතා කරනු ලැබුවේ.
 
මෙහිදී වංචා දූෂණයන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගතයුතු යැයි සේනාධිරාජා මහතා ද විග්නේෂ්වරන් මහතා හා ප්‍රකාශ කර සිටියා. එහෙත් චෝදනාවලින් නිදහස් අමාත්‍යවරුන්ද ඇතුළත් කරමින් අමාත්‍යවරුන් සිව්දෙනාගේම අමාත්‍යධූර ඉවත් කිරීමට තීරණය කිරීම පිළිගත නොහැකි බවද සේනාධිරාජා මහතා කියා සිටියා. දූෂණ චෝදනා සනාථ වූ අමාත්‍යවරුන්ට එරෙහිව පමණක් ක්‍රියාමාර්ග ගතයුතු බවට මේ අවස්ථාවේදීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විග්නේෂ්වරන් සමගින් සදහන් කර සිටියා. සම්බන්ධන් මහතාගේත් සේනාධිරාජා මහතාගේත් ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිතුරක් 14 වැනිදා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ලබා දෙන බව මෙහිදී විග්නේෂ්වරන් සඳහන් කරමින් තමන් විසින් ගනු ලැබූ තීරණයම ප්‍රකාශයට පත්කළා.
 
අමාත්‍යවරුන් සිව් දෙනාම වරදකරුවන් බවට හැගෙන සේ වැරදි මතයක් ගොඩනගමින් සත්‍ය වරකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළා. වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා නිවාඩු යවමින් ඔවුනගේ අමාත්‍යධූර මසකට අත්හිටුවීමට අපගේ පක්ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සභා ගැබෙන් පිටව ගියා. දූෂණය වසං කරමින් වරදකරුවන් ආරක්ෂා කර ගැනීමේ මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙනුයි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරන් මහ ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට මූලිකත්වය ගනු ලැබුවේ.‘‘