විග්නේෂ්වරන් ඇතුළු 4ට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියමවෙයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති  පැමිණිල්ල ලබන මැයි 18 , 19 සහ 20 යන තෙදින විභාගයට ගැනීමට  අභියාචනාධිකරණය  (28)  දින නියම කළේය.

 
මෙසේ පැමිණිලි විභාගයට යළි දින නියම කරනු ලැබුවේ පැමිණිල්ලේ දෙවැනි විත්තිකාර ආනන්දි සසිදරන් මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ලැබී ඇති බැවින් ඔහු ඇයට පෙනී සිටිමෙන් ඉවත් වන බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුවය.
 
මෙම පැමිණිල්ල අද (28) මහින්ද සමයවර්ධන සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
උතුරු පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිශ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කර ඇත. 2017 වසරේ එම අමාත්‍යධූරයෙන් තමා ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉවත් කළ බවත් , ඊට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවද පෙත්සම්කරු කියා සිටී.
 
එම නඩුව විභාග කළ අභියාචනාධිකරණය තමන්ව නැවත අදාළ අමාත්‍යධුරයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන තිබුණත් එය ක‍්‍රියාත්මක කිරීම හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර හිටපු උතුරු පළාත් අමාත්‍යවරයා සිය පෙත්සමින් පෙන්වා දේ.
 
අදාළ අමාත්‍ය ධූරයේ පිහිටුවීමට හිටපු ප‍්‍රධාන ආමත්‍යවරයා කටයුතු නොකිරීමන් , ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.