වැස්සෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නැහැ


(හර්ෂණ තුෂාර සිල්වා)

ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් කිසිදු හෝටලයකට,කිසිදු සංචාරකයකුට හෝ සංචාරක සේවයේ නියුතු කාර්ය මණ්ඩල සේවකයකුට හෝ සංචාරක ක්ෂ්‍රේත්‍රයට සම්බන්ධ කිසිවකුට හානි හෝ බලපෑම් සිදු වී නැතැයි ද ඒ මහතා කියයි.

සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අද(30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ආපදාවට පත්වූවන්ට එම අමාත්‍යාංශය ඊට අනුබද්ධ ආයතනවල එකමුතුවෙන් ලක්ෂ 20කට ආසන්න ආධාර ලබාදෙන බවත් ඒ මහතා කියයි.

මැයි හා ජූනි මාස යනු සාමාන්‍යයෙන් සංචාරකයන් නොපැමිණෙන මාස යැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩි විතාන මහතා කීය.

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වසරේදී අපේක්ෂා කරන සංචාරකයංන් මිලියන 2.5 ඉලක්කය හෝ ඩොලර් බිලියනයක සංචාරක ආදායම් ඉලක්කය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද එහිදි කියැවිණි.