( දිල්රුක්ෂි ග්‍රේරු )
වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද සිද්ධියෙන් පැය භාගයක් ඇතුළත ඇති වූ කැරැල්ල ඉතා සාර්ථක අයුරින් මැඩ පැවැත්වීමට හැකි වූ බවද බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේය.
සිය මූලික අයිතිවාසිකම් ඉටු කර දෙන ලෙස හා බන්ධනාගාර ජේලර්වරියක් මාරු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා කාන්තා රැඳවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයක් කළ අතර බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුහු උද්ඝෝෂණය නතර කළහ.
නමුත් එකගතාවකට පැමිණිමෙන් පසුවද තෙවැනි වරටත් අද (20) දහවල් යළි බන්ධනාගාර වහලය මත නැග ඇරැඹු උද්ඝෝණය අතරතුරදි එය පාලනය කිරීමට යාමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම හටගෙන තිබිණි.
මේ වන විට බන්ධනාගාරය තුළ ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් ගැටුමට මැදිවුවන් පරික්ෂා කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පනස් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඡායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ