වැඩි මිලට වැලි අළෙවි කිරීම ගැන පැය 24 කදී පැමිණිලි 200 ක්


(විනීතා එම් ගමගේ)

වැඩි මිලට වැලි විකිණීමේ සිද්ධීන් පිළිබද පැය විසිහතරක් තුළ පැමිණිලි 200 කට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල්  කැණීම් කාර්යංශය කියයි.

වැඩිමිලට වැලි විකිණීමේ සිද්ධීන් ගැන දැනුම් දෙන්නැයි තමන් ඉකුත් 4 වැනිදා මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම අනුව අද (05)  දහවල් වනවිට මෙසේ පැමිණිලි 200 ක් පමණ ලැබී තිබූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම පැමිණිලි පිළිබද පරික්ෂණයකින් පසු වැඩිමිලට විකුණා ඇති වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත‍්‍රය අහෝසි කරන බව ද වල්පොල මහතා කීය.

බලපත‍්‍ර සහිතව වැලි කැණිම් කරන සියලූ තොටුපලවලට ගාස්තුවක් නියම කර ඇති අතර ඊට වඩා වැඩිමිලක් අයකරන බවට ලැබෙන පැමිණිලි අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.

රාජ්‍ය භාගය ගෙවිය යුතු බව කියමින් සමහර තොටුපලවල් රුපියල් 6000 ක් පමණ නියමිත මිලට වඩා වැඩියෙන් අය කරන බවත් රාජ්‍ය භාගය ද ඇතුලත්ව මිල නියම කර ඇති බැවින් එසේ ඉහළ මිලක් අයකළ යුතු නැති බවත් කී සභාපතිවරයා බොහෝ විට කැණීම් බලපත‍්‍ර නැති පිරිස් මෙම ජාවාරමේ නිරතවන බව පෙනී යන්නේ යැයි ද කිීය.

ඒ ඒ පළාත්වල තොටුපලවලට නියමිත මිලට වඩා වැඩි මිලක් අයකරන්නේ නම් 0715352304 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි වල්පොල මහතා ඉල්ලීමක් ද කළේය.