වැඩ තහනම් වූ පොලිස් නිලධාරියා ව්‍යාජ හැඳුනුම්පතක් ගෙන හොරකමේ යයි


(කේ බුද්ධික කුමාරසිරි )
 
නිවාසවල මත් ද්‍රව්‍ය ඇති බවට පැමිණිලි ලැබී  ඇති බව පවසා ව්‍යාජ පොලිස් නිළ හැදුනුම්පතක් පෙන්වමින් නිවාස පරීක්ෂා කරන මුවාවෙන් එම නිවාසවල තිබූ රන් ආභරණ  සහ මුදල් සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකපිට වැඩ තහනමට ලක් වූ පොලිස් නිළධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  අද (10)  දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි
 
අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මෙලෙස සොරකම් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් ඒ අනුව අතුරුගිරිය පොලිස් වසමේ නිවාස 06 ක් පාදුක්ක පොලිස් වසමේ නිවාස 04 ක් නවගමුව කහතුඩුව ගම්පහ වීරගුල ගනේමුල්ල මොරගහහේන පිළියන්දල ඇඹිලිපිටිය ගොඩකවෙල  ආදි පොලිස් වසම්වල නිවාස 23 ක සිදු කල සොරකම් සම්බන්ධව තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
 
මෙලෙස  අත් අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වසර 10 කට ආසන්න කාළයක් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී සිදු කර ඇති බවත් එලෙස රාජකාරී සිදු කරන අතරතුරදී ද කළ සොරකමක් නිසාවෙන් වැඩ තහනමට ලක් ව ඇති බවද පොලිසිය පවසයි
 
සැකකරුවන් දෙදෙනාම කලක සිට මුදල් ඔට්ටුවට සූදු කි‍්‍රඩා (කැසිනෝ)  සහ කාන්තාවන් ඇසුරට ලොල් වූ පුද්ගලයන් බවත් සොරකම් සිදු කර ලබා ගත් සියළු මුදල් සූදුවට සහ කාන්තාවන්ට වැය කර ඇති බවත් මෙම සැකකරුවන් දෙදෙනාටම අනියම් කාන්තාවන් දෙතුන් දෙනා බැගින් සිටින බවද සිදු කල ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත '

මෙහි ප‍්‍රධාන සැකකාර වැඩ තහනමට ලක් වූ පොලිස් නිළධාරියා විසින් සිය රාජකාරී පොලිස් හැදුනුම්පත ආකාරයේම ව්‍යාජ පොලිස් නිළ හැදුනුම්පතක් සකස් කර එය පෙන්වමින් නිවාස තුලට ඇතුළු වී මත් කුඩු සොයන බව පවසමින් නිවාස තුල අල්මාරී පරීක්ෂා කරමින් රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කතර ඇති අතර සැකකරුවන් දෙදෙනාම මෙයට පෙර ද විවිධ සොරකම් සහ අත් බෝම්බයක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්දානාගාර ගත වූවන් බවත් මෙම සැකකරුවන් දෙදෙනාටම වලස්මුල්ල මිරිහාන ආදී අධිකරණවල තවමත් නඩු විභාග න්‍න බවද පොලිසිය පවසයි
 
මෙලෙස  අත් අඩංගුවට පත්ව ඇත්තේ හකුරුවෙල හීන්බුන්න ජූල්ගහහේන ප‍්‍රදේහයේ පදිංචිකරුවෙකු වන වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු වන 30 හැවිරිදි පුද්ගලයෙකු සහ වීරකැටිය වෑකඳවෙල පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි අයෙකි
 
සැකකරුවන් සොරකම් කරන ලද රන් භාණ්ඩවල කොටසක් සහ ටැබ් පරිගණකයක් මුදල් පසුම්බියක් බැංකු කාඞීපත් ආදී භාණ්ඩ සහ ව්‍යාජ පොලිස් හැදුනුම්පත පොලිසිය මගින් සොයා ගෙන ඇත
 
මෙම සැකකරුවන් විසින් සොරකම් කරන ලද රන් භාන්ඩ මිලට ගත් පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවැවින් සැකකරු ද අත් අඩංගුවට ගැනීමට නියමිත වේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය