වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි


( ජුඩ් සමන්ත )

කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි ජාවාරම්කරුවකුගේ ලොරියකට යටවී තුවාල ලබා ඇතැයි පුත්තලම පොලීසිය  පවසයි.

ඔහු අසාධ්‍යය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයකි.

මෙම අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි දෙදෙනකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි තවත් අයෙකු පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.

වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් නවත්වන ලෙසට අණ කර ඇති නමුත් එය අණ නොතකා විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුද යට කරගෙන පලා ගොස්  ඇත.එම අවස්ථාවේදී සෙසු නිලධාරීන් පලා යමින් තිබූ ලොරියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය කියයි.

(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)