වාහන අමතර කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

කොළඹ නගරයේ තැන තැන නවතා තැබෙන වාහන සොරාගෙන ගොස් පංචිකාවත්ත සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා ඒවායේ  කොටස් ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනක් සංවිධනාත්මක අපරාධ  නිවාරණ  කොට්ඨාසයේ  පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව  පොලිස් මුලස්ථානය කියයි.

කිරුළපන ප‍්‍රදේශයෙන් මීට මාසයකට පෙර සොරකම් කරන ලද රුපියල් 450,000 ට අධික  වටිනා නවීන  යතුරු පැදියක් රුපියල් 75,000 ක මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී මෙම සියලූ තොරතුරු හෙළිකරගෙන ඇත.

මෙම  සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දැනට රිමාන්ඩ් බාරයේ පසුවන්නකු බවත් ඔහු රිමාන්ඩ් බාරයේ පසුවීම නිසා  ඔහුගේ උපදෙස් මත මෙම සියලූ කටයුතු සිදුකර ඇත්තේ  ඔහුගේ ප‍්‍රධාන  ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ මොවුන් මෙම වාහන සොරාගන්නා අයුරු හා ඒවා සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා තබා කොටස් ගලවන අයුරු  සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇත.

ඒ අනුව පොලිසිය සේනමාවතේ පිහිටි ගරාජය වටලා පරික්ෂා කිරීමේදී  සැකකරුවන් විසින් සොරාගෙන සඟවා තැබු යතුරු පැදි තුනක්, ති‍්‍රරෝද රථයක්, හා යතුරුපැදි පහක පමණ ගලවන ලද අමතර කොටස් සොයාගෙන තිබුණි.