වාර්තාව පැරදුණොත් විකල්පය මැතිවරණ කොමිසම පෙන්වයි


(රංජන් කස්තුරි)

පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව නැවත සලකා බැලිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

පළාත් සභා පනතට අනුව කතානායකවරයා විසින් එම කමිටුව පත්කළ යුතු අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද ඔහු කීවේය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් එම පනත මාස දෙකක් ඇතුළත සලකා බලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගන්නේ නම් සීමා නිර්ණය වාර්තාව සම්මත වූවාසේ සැලකිය හැකි බවද ඔහු කීය.

එසේ වුවහොත් නව මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.