වාද්දුව වෙරළ සාදයේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්



 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පුද්ගලයන් දෙදෙනා අද (17) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට අතිරේක මහේස්ත‍්‍රාත් කල්හාර ලියනගේ මහත්මිය නියෝග කළාය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ කඩුවෙල-කොරතොට පෞද්ගලික සමාගමක ලියාපදිංචි හිමිකාරියගේ සැමියා වූ සාදයේ සංවිධායක ලෙස කටයුතු කළ තල්පාවිල කම්කානම්ගේ අමිල පුෂ්පකුමාර හා එම සමාගමේ ප‍්‍රචාරක නිලධාරියා ලෙස කටයුතු කරන ගොතටුව පදිංචි හර්ෂාන් එරන්ද දන්තහාරයන යන වේ.


එම සැකකරුවන් දෙදෙනා ඉකුත් 10 වැනි දා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ මනුෂ්‍ය ජීවිතයට හෝ අන් තැනැත්තන්ගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නොසැළකිලිමත් කි‍්‍රයාවක් වශයෙන් ප‍්‍රසංගය සංවිධානය කර එකී පුද්ගලයන් අසනීපව රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 327 වගන්තිය යටතේ හා 2006 අංක 26 දරණ දුම්කොළ මධ්‍යසාර පනතේ 36 හා 37 වගන්ති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය.