ව්‍යාපාරිකයාගේ විමසිල්ලෙන් මහා විනාශයක් වැළකෙයි


(බී.ජී. චතුරංග)

අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ ඉදිකෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් බිමට කඩාවැටී සිදුවීමට ගිය මහා විනාශයක් ව්‍යාපාරිකයකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් අද (28) වැලකි ගියේය.

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පැරණි බස් නැවතුම්පල අසල ඉදිකෙරෙන අඩි හැටක් පමණ උස මෙම ගොඩනැගිල්ලේ ඉහලම මාලයේ පිහිටි අඩි සියයක් පමණ දිගින් යුතු බිත්තියක් අද  (28) සවස සුළගට අඩියක් පමණ වැනෙන අයුරු එම ගොඩනැගිල්ලට ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපාරික ජේ.ඒ මුබාරක් මහතා දැක ඒ අසල කඩ සාප්පුවල පිරිස්වලට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කෑ ගසා තිබේ.

මුබාරක් මහතා මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියටද දන්වා ඇති අතර රථවාහන පොලිස් නිලධාරින් වහා එහි පැමිණ ප්‍රධාන මාර්ගය වසාදමා අවට කඩසාප්පු කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබුණි.

අනතුරුව ප්‍රමිතියට ඉදි කර නොමැති බව කියන එම බැම්ම ආරක්ෂිත ලෙස කඩා දැමීමට කටයුතු කෙරුණි.එම බිත්තිය කඹ යොදා බැද ආරක්ෂා සහිතව කඩා දමනු ලැබීය.

අවට වෙළෙදසල් විස්සක් පමණ වසා දමා එහි සේවකයන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර මෙම සිදුවීම පිළිබද කටකතා පැතිරගිය පසු විශාල පිරිසක් එය කඩා වැටෙන අයුරු නැරඹීම සදහා පැමිණ සිටියහ.

අවශ්‍යතාවක් වුවහොත් භාවිතයට ගැනීම සදහා ගිලන් රථ හා අනුරාධපුර නගර සභා ගිණි නිවන ඒකකය ද එම ස්ථානයට කැදවා තිබුණි.