වසරකට පෙර තාත්තා මැරූ පුතාගේ පොලු පහරින් අම්මාත් එතැනම


(*** මහියංගණ රංජිත් කරුණාවීර)

මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දඹාන, උල්පත පදිංචි ඕ.එම්. ගුණවතී නමැති 62 හැවිරිදි හය දරු මවක බව ද පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුතකු සැක කරන බවත් පවසන පොලිසිය සැකකරු හය දරු මව ඝාතනය කර වැඩිමහල් සොහොයුරාටද තියුණු ආයුධයකින් පහරදී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.

තුවාල ලබා සිටින ඔහු මහියංගණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කීය.

ඝාතනයට සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැකකාර පුත්‍රයා මීට වසර හතරකට පෙර සිය පියා ද කපා කොටා ඝාතනය කළැයි චෝදනාව මත මීට වසරකට පමණ පෙර සැකකරු බන්ධනාගාරයෙන් ඇප පිට නිදහස්ව පැමිණ සිටියදී මෙම ඝාතනය ද සිදු කර ඇති අතර, ඔහු කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයකු ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරි (SOCO) පරීක්ෂණ පැවැත්වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ.ඒ.ආර්.එල්. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් පරීක්ෂණ කටයුතු සිදු කරති.