වසර අවසාන මැතිවරණ නිරීක්ෂණය කරන්නැයි ලිබියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි


( තිළිණි ද සිල්වා )

ලිබියානු රජය මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත මැතිවරණ නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටි.

මෙරට ලිබියා තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී ඒ.එම්. මුෆ්තා මහතා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවේ මෙම ඉල්ලීම කර ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

එම ඉල්ලීමට පිළිතුරු දුන් විදේශ අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලිබියාව දරන ප්‍රයත්නයන්ට සහයෝගය දක්වන බවත් , මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලන බවද කියා සිටියේය.

විදේශ අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී ලිබියාවේ වර්තමාන තත්ත්වය සහ විශේෂයෙන් 2021 මාර්තු මාසයේ සිට බලයේ සිටින අතුරු භාරකාර රජයේ කාර්යභාරය පිළිබඳව ලිබියානු කාර්ය භාර නිලධාරිවරයා මෙහිදී විදේශ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

ලබන දෙසැම්බර් 24 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන සූදානම පිළිබඳව කරුණු පැහැදිලි කළ ඔහු, මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් යැවීම පිළිබඳව සලකා බලන ලෙස ද ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය

ඊට පිළිබතුරු දක්වමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මෙම ඉල්ලීම පිළිබද රජය සලකා බල බවය.

රජය, වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම සහ අප්‍රිකානු කලාපයේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම තුළින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය කෙරෙහි අවධානය යොමු කරන බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය..

ලිබියාව සමඟ තේ, මැණික් හා ස්වර්ණාභරණ සහ සංචාරක කටයුතු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට ද මෙහිදි එකඟ විය.

ශ්‍රී ලංකාවේ කලාපීය හා බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව විදේශ අමාත්‍යවරයා ලිබියානු නියෝජිතයා දැනුවත් කළ අතර, ජාත්‍යන්තර මට්ටමේ සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා එකඟ විය.

ලිබියානු කාර්ය භාර නිලධාරිවරයා, පසුගියදා විදේශ අමාත්‍ය ලෙස ලද පත්වීම පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමාට ලිබියානු විදේශ කටයුතු අතාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය

ඡායාරූප කැප්ෂන් - මෙරට ලිබියා තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී ඒ.එම්. මුෆ්තා මහතා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාව