වසර 11 කට පසුව ශ්‍රී ලංකාවට සහය දිවීමෙන් පදක්කමක්


වසර 11 කට පසුව ශ්‍රී ලංකාව 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී සහය දිවීමේ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. තරගාවලිය නිමාවට පත් වූ අද (12) පස්වරුවේදී මීටර් 4-400 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මෙම තරගාවලියේදී වඩාත්ම අවධානය යොමු වූ ඉසව්වක් වන මීටර් 4-400 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායමට සුබෝධනී කුමාරි, නදීෂානි ෆන්ඩර්සන්, පී.බී. හංසනී හා ෂිවන්ති කුමාරි ඇතුළත් වූහ. ඔවුන් විනාඩි 3 තත්ත්පර 46.76 කට රිදී පදක්කම හිමිකර ගත් අතර කසකස්තාන කණඩායම විනාඩි 3 තත්ත්පර 43.49 කින් තරගය නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේය.ශ්‍රී ලංකාව මෙම රිදී පදක්කම දිනා ගැනීමත් සමගම නිමාවට පත් වූ 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් මුළු පදක්කම් හයක් දිනා තරගාවලියේ හත් වැනි ස්ථානයට පත් විය. ඡයාරූපය: රිදී පදක්කම ලාභී මීටර 400-4 ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ පිල (ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)