වව්නියාවේදී සෙබළෙකුට පහර දී ගිනි අවියත් පැහැරගෙන


(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව බෝගස්වැව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබළෙකුට නාඳුනන පිරිසක් අද (25)  පහරදීමෙන්  බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කර  ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.

 
මෙම  යුද හමුදා සෙබළා යුද හමුදා මුරපොළෙ සිට සේවා මුරය අවසන් වී කඳවුරට එමින් සිටියදී පිරිසක් විසින් සැඟව පහර දී  ඔහු සතුව තිබී ගිනි අවියද පැහැරගෙන ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත.
 
 පහර කෑ සෙබළාගේ ගෙලෙහි  දැඩි  ලෙස කැපුම් තුවාල  ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.
 
සෙබළා මෙම පහර කෑමට ලක් වූ අවස්ථාවේදී  උදව් ඉල්ලමින් කෑ ගසා ඇති අතර  ආසන්නයේ පිහිටි  මුරකුටියේ සිටි  තවත් යුද හමුදා සෙබළෙකු මෙම සෙබළා දැක ඒ පිළිබඳව මූලස්ථානයට දැනුම් දී තිබේ.

බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යවා  ඇත.