වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයකට නැග විරෝධයක


(නිමල කොඩිතුවක්කු)

චීනයෙන් ගෙන් වූ ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වරාය සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ට්‍රි දොඹකරයකට නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාකරුවන් තුන් දෙනෙකු මීටර 50 ක් උසැති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී අද (01) මෙලෙස විරෝධයේ නිරතවූහ.

ඉකුත් ජූනි මස 20 වන දින මෙම ගැන්ටි දොඹකරය චීනයෙන් ගෙන්වා ඇති අතර  ඒවා  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කරන තෙක්  මෙම විරෝධතාවය අඛණ්ඩව සිදු කරන බව විරෝධතාවයේ නිරත  වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ  සභාපති සංජය කුමාර වැලිගම මහතා පැවැසීය.

මෙම ගැන්ට්‍රි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට ඇමරිකානු ඩොලර් හැටදහසක  මුදලක් ගෙවීමට සිදුවන බැවින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවද  ඔහු සඳහන් කළේය.

දින ගණනක් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවත්  ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.

වරාය මුදල් කොට්ඨාසයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම් හර්ෂණ මදුරංග සහ ස්වාධීන ටජ් යාත්‍රා සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ යන මහත්වරුන්ද මෙම විරෝධතාවයට එක්ව සිටිති.

(ඡායාරූප : ලහිරු හර්ෂණ)