විවිධ සංගීත ශෛලීන් ලෝකය පුරා පවතියි. ඒ සඳහා ඇල්මක් දක්වන රසික ප්‍රජාවක්ද සිටිති. මේද එවන් වෙනස් සංගීත ශෛලීන් තුළ නිර්මාණ කටයුතු කරන දෙදෙනෙකි. මෙවර එකවගේ දෙන්නෙක් හා සම්මුඛ වන්නේ ඔවුන් දෙදෙනාය. භාතිය සන්තුෂ් සමග හිපොප් රැප් නිර්මාණකරණයෙන් දාවයක වන ඔහු රන්දීර් විතානය. ඔහු සමග මෙවර සම්බන්ධ වූයේ "සෙන්ඩිග්‍රේඩ්" සංගීත කණ්ඩායමේ රැප් නිර්මාණයයෙන් දායකවන අමිල නිරෝෂනය.
මේ මොහොතේ නිර්මාණය වන ගී නිර්මාණ ගැන ඔබේ අදහස කෙබඳුද?
අමිල
හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතර ගුණාත්මක බවෙන් අඩු නිර්මාණ රූපවාහිනියෙන් හා ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. අන්තර්ජාලයේ ප්‍රචාරය වෙනවා. මේ මාධ්‍ය තුනේම නිර්මාණ ප්‍රචාරය වෙනවා. ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අහන්න දකින්න තිබෙන නිර්මාණවල ඒකකාකාරී බවක් තිබෙනවා. ඒකට හේතුත් තියෙනවා. දැන් විවිධත්වය අඩුයි.
රන්දීර්
කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් බිහිවෙනවා. මීට කාලෙකට කලින් ගීතයක් ගීතයක් ගානෙ රැප් වර්ස් එකක් තිබුණා. එයට අකමැති අයත් හිටියා. චෝදනා තිබුණා. කුමන හෝ ට්‍රේන්ට් එකක් හරි ගියා නම් ඒ සඳහා බොහෝ පිරිසක් එකතු වෙනවා. ඒකකාරී බවක් නැතිවෙනවා. ට්‍රේන්ඩ් එකක් ඇති වෙලා ඒ ට්‍රේන්ඩ් එක කාලෙකින් නැතිවෙනවා.
කරන නිර්මාණ සීමාවෙලා තියෙන්නේ ඇයි? චෝදනා නිසාද?
රන්දීර්
අපිත් එක්ක හැමදාම ළඟින් හිටිය රසික පිරිසක් ඉන්නවා. අපිත් ට්‍රෙන්ඩ් එකක් ආවාම අපේ අනන්‍යතා එක්ක ඒ තැනට යනවා.
අමිල
රන්දීර් කිව්ව දේ නිවැරදි. එයට දෙයක් එකතු කළ යුතුයි. අපි මීට කාලෙකට කලින් කළ නිර්මාණ බලන කොට අපිටත් හිතෙනවා නිර්මාණයක් කරන්න. 1998 වගේ කාලේ අපි ආසාවට රැප් කරනවා. එහෙම කරන නිර්මාණ බලනවා. අපි අන්තර්ජාලයෙන් නිර්මාණ බලනවා. ජවන තරගයක් ගත්තත් පළවෙනියා දුවද්දී දෙවනියා තමයි එයාට ජයග්‍රහණය කරන්න උදව් වෙන්නේ. ඒ වගේ කම්පිටිෂන් කියන දේ තිබ්බා. මම සහ සෙන්ටිග්‍රේඩ් ගැන කතා කළොත් ගීත ඉස්සර තරම් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණ කළා. අපි බලන කොට අපේ ඇඟේ තියෙන නිර්මාණය නෙමෙයි සමාජයට එන්නේ.
ඒ කියන්නේ තව කෙනෙක් දෙස බලා නිර්මාණ කරනවා කියන එකද? හැදෑරීමට ඉඩක් නැද්ද?
අමිල
නෑ අපි ඒක හදාරලා ඉවරයි. ඉන්පසුව තිබෙන කොටසයි කළ යුත්තේ. ආටිස් කෙනෙක් කියන්නේ මිකෑනික් කෙනෙක් නෙමෙයි. ක්‍රියේෂන් එන්නේ තියරි හා ක්‍රියේටිව් එක්ක. අපේ ක්‍රියේටිව් එකෙන් හැදුවම වෙන නිර්මාණයක් වෙන්නේ. අපි ඒකම හැදුවොත් මිකෑනික් එකක් වෙන්නේ. එහි ආර්ට් එකක් අපි දකින්නෙ නෑ. ඒකයි ඒහා සමානවම අපි නිර්මාණ කරන්නෙ නැත්තේ.
හැදෑරීම් ගැන ඇහුවා. මගේ පැත්තෙන් කතා කළොත් හිපොප් රැප් ඇල්බම් අරගත්තා. මගේ තාත්තා බෑන්ක් එකක වැඩ කළේ. එයා සිංගප්පූරු යනකොට එහෙන් තමයි මම ඒවා ගෙන්න ගන්නේ. ඒ බුක්ලට්වල ලිරික්ස් තියෙනවා. ඉස්සර අන්තර්ජාලයෙන් ඒවා ඩවුන්ලෝඩ් කරන්නත් බැහැ. රන්දීර් මියුසික් තියරි පැත්ත ඒතරම් හදාරාලා නැහැ. මියුසික් තියරි ගැන කතා කළොත්, විශේෂයෙන් හිපොප් ගැන කියනකොට එය නිර්මාණය වී තිබෙන්නේ වෙනත් ගීතවල කොටස්වලින්. ඒ කොටස්වලින් ගීතයක් නිර්මාණය කරන ක්‍රම‘වේදයක් තියෙන්නේ. ඒ සංගීත නිර්මාණය පැත්ත. ලිරික්ස් පැත්ත කතා කළාම වෙන ආටිස් කෙනෙක්ගේ ගීතයක ලිරික්ස් අරන් කටපාඩම් කරලා ඇනලසිස් කරන ක්‍රමයක් තියෙනවා. ඕනම හිපොප් ආටිස් කෙනෙක් කරන දේ තමයි ඒක.
මෙය ඉගෙන ගන්න පූර්වාදර්ශ හොයන්න වෙන්නේ විදේශ රටවලින්. මේක ලංකාවට අනුගත කරද්දි මොනදේවල් ගැනද හිතුවේ?
රන්දීර්
ලංකාවේ මාස් ටාගට් එකට ඉලක්ක කරන්නේ. පද රචනයට වඩා මියුසික් පැත්ත තමයි ලංකාවට ගෙන ආවේ. ලංකාවේ සංගීත භාණ්ඩ එහෙම භාවිත කරලා ලාංකීය අනන්‍යතාවයක් ගේන්න තමයි අපි මහන්සි වුණේ. අපි ගෙනාපුදේ හරි ගියා කියලා මම හිතනවා.
අමිල
ඒක හරි ගියා. කවුරු මොන දේ කිව්වත් මම හිතන්නේ එතන ටර්නින් පොයින්ට් එකක්. ඒ කාලේ ප්‍රශ්න තිබුණා. විවේචන තිබුණා. නමුත් මම හිතන්නේ ඒ කාලේ කර දේ හොඳ දෙයක් කියලා. හිපොප් රැප් කියන දේ ලංකාවට ගේනකොට අපි විදේශ රටාවලින් ගත යුතු හොඳ දේ ෆිල්ටර් කරලා ගත යුතුයි. ලංකාවේ රැප් කරනවා කියන්නේ අභියෝගයක්. ඒක ලංකාවට ගැළපෙන විදිහට ගන්නේ කොහොමද කියලා හිතන්න සෑහෙන්න කාලයක් යනවා. අපි ඩිවලොප් වුණේ එහෙම ෆිල්ර්ට් කරලා ලංකාවට ගැළපෙන දේ දුන්න නිසා. වසර දහතුනක් පමණ මේ ක්ෂේත්‍රය තුළ ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් වුණේ ඒකයි. පාසලකට ගියත් රැප් කරනවා. එහෙම ගැටලු නැහැ. අපි ආරම්භයේදී අවබෝධයෙන් හිටිය නිසා ගැටලු අඩුයි.
නමුත් මෑතක වූ සිදුවීම් කිහිපයක් නිසා රැප්, හිපොප් ගැන වැඩිපුර කතා කළා. සීමා මායිම් ගැන කතිකාවත් ඇති වුණා. ඒ ගැන ඔබේ අදහස?
රන්දීර්
ඒක හිපොප්වලට සීමා වෙලා නැහැනේ. ඕන සංගීත ශෛලයක් කරන්න පුළුවන්. සමහර ආටිස්ලා ඉන්නවා ඒ අය අතරත් ප්‍රශ්න තියෙනවා. හින්දුස්තානි අපටත් එවැනි ප්‍රශ්න ඇති. මේක එක්තරා මියුසික් ස්ටයිල් එකකට සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. මීඩියා කරන්නේ රසවත් ස්ටෝරි එක ප්‍රචාරය කිරීම. ඒ පුද්ගලයා ගැනයි මියුසික් ස්ටයිල් එක ගැනයි අදහස් ඇති වෙනවා.
ඒ සංගීත ශෛලය ගැන හා ඒ සිදුවූ ක්‍රියාව ගැන ඔබේ අදහස මොකක්ද?
රන්දී
මම කියන්නෙ සිංහල හිපොප් කියනදේ හරිමගට යන්නේ දැන් තමයි. ඒකේ වරදක් මම දකින්නේ නෑ. සෙල්ෆි රැප්කැම්පේන් එක එහෙම බැලුවම ලංකාව තුළ හිපොප් ටැලන්ට් එක තියෙන කෙල්ලො කොල්ලො ඉන්නවා.
සංස්කෘතිය එක්ක ඒ ගැන කතා කළොත්?
රන්දීර්
අපි කවුද කියන එකනෙ සංස්කෘතිය කියන්නේ. ඒක වෙනස් වෙනවා. දැන් තියෙන ලංකාව ගැන කතා කළොත් තනියම ජීවත් වෙන්න බෑ. අපි ඒකට හැඩගැහෙන්න ඕන. හිපොප් ගැන හොයලා බැලුවම දැන ගන්න ලැබෙනවා. මෙහි ආරම්භය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ දුප්පත් කළු ජාතිකයන්ට තමන්ගේ දුක අඩුකර ගන්න හදාගත්ත සංගීත ශෛලයක්. දැන් හිපොප්වල තේමා ලැබුවම ඉන් අපි ඈතට ගිහින් තියෙන්නේ. මම කියන්නේ එය අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කරගන්න ඕන. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ටේස්ට් එක වෙනස්. මානසිකත්වය වෙනස්. ඒක දැනගෙන අපි හිපොප් කියන ආර්ට් එක ගේන්න ඕන.
අමිල
මම ෆිල්ටර් එකක කතාවක් කිව්වෙ ඒකයි.
ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? මේ වෙද්දි රෙගේ, රැප්, හිපොප්වලට ලංකාව තුළ තියෙන්නේ මොන වගේ ඉඩක්ද?
අමිල
අද වෙනස්. අපි ගෙන්දගම් කියන නිර්මාණය කළා. ඒකට හේතුවත් ප්‍රශ්න ගැටලු පැමිණීම. ශ්‍රී ලංකා රැප් ඉන්ඩස්ට්‍රි එකට සිංහල රැප් නැති ප්‍රශ්නයක් ආවා. මෙහෙම දේකුත් තියෙනවා. ඉංග්‍රීසියෙන් රැප් කළ ඔය කතාබහ වුණ දේටවඩා නරක දේවල් තියෙනවා. සිංහලෙන් රැප් කළාම ඒක තේරෙන්න ගන්නවා. ඒක ආට් එකක්. අපි රැප් කරන අය විදිහට ඒක වෙනස් කරලා කරන්න දැන ගන්න ඕනෙ. මෙහෙමයි, නරක වචනයක් කිව්වම කතා කරනවා වැඩියි. ඒ රැප් කරන කෙනා හොඳ දෙයක් කළාම කතා කරන්නේ නැහැ. මේක බලන් ඉන්න අය හිතන්නේ කොහොමද මේකට එන්නේ කියලා. හොඳ මාර්කට් කරන්න අමාරුයි. ඒක වෙන්න හොඳ නැහැ. නරක දෙයක් කරලා පොර වෙන්න හොඳ නැහැ. ඒක ප්‍රමිතිගත වෙන්න හොඳ නැහැ. සිංහල රැප් කලාව ඒකට හොඳ ප්‍රතිචාර ආවා. සිංහල රැප්වලට සෑහෙන්න ගමනක් තියෙනවා.
ඒ ගමන යන්න ඕන කොහොමද?
රන්දීර්
තමන්ගෙ නිර්මාණයට මුල්තැන දෙන්න ඕන. රසවත් දෙයක් පෙන්නලා විව්ස් ගන්න එක නෙමෙයි විය යුත්තේ. තමන්ගෙ කලාවට මුල්තැන දෙන්න ඕන. මේ ඉන්ඩ්‍රස්ට්‍රය පැවැත්මක් තියෙන්න නම් කලාව රැකගන්න ඕන. දැන් ආටිස්ලා වැඩියි. තරගකාරීත්වය වැඩියි. තමන්ගෙ වෙනස අවබෝධ කරගන්න ඕන. තමන් වෘත්තීය මට්ටමෙන් කරනවා නම් මුදල් හම්බකරන ක්‍රමයක් දැනගෙන යන්න ඕන.
අමිල
තමන් කාවද ආදර්ශයට ගන්නේ. ඔහු අධ්‍යයනය කළ යුතුයි. ප්‍රසිද්ධ වෙන හැමදේම හරි නැහැ. ප්‍රසිද්ධිය නෙමෙයි සාර්ථකත්වයයි බලන්න ඕන. ස්ථාවර වෙලා ඉන්න අය බලන්න ඕන. තමන් වෘත්තීය මට්ටමෙන් කරනවා නම්, මුදල් හොයන ක්‍රමය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. හදාරන අතරෙම තමන්ගෙ ස්කිල් එකක් ගොඩනගා ගන්නත් අවශ්‍යයි. ඒක අනිවාර්යයි.
නිදුක් මදුෂික/ඡායාරූප - මිහිර බණ්ඩාර

