වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම්



(එම්.කේ.නන්දසේන)
 

ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් ද නියම කළේය.

එසේම සිංහල, දෙමළ,සහ ඉංග්‍රීසි මාධ්‍යය තුනෙන් ජාතික පුවත්පත් තුනක මෙම වරද තවත් නොකරන බවට මහජනතාවගෙන් සමාව අයැද දැන්වීම පළකර අගෝස්තු 20 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම කෙරුණේ බිබිල කණුල්වෙල පදිංචි 69 හැවිරිදි පුද්ගලයකුටය. මෙම පුද්ගලයාට මෙවැනි චෝදනා රැසකට 2016 වසරේ ද සෞඛ්‍යය නිලධාරීන්  නඩු පවරා දඬුවම් ලබා සිටි අයෙකු බව ආහාර හා ඖෂධ පරීක්ෂක පුෂ්පකුමාර මහතා පැවසීය.

බඩේ කැක්කුමක් සහ රුධිර වහනයවීමක් සම්බන්ධයෙන් බිබිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගෙන් ලබා ගත් ප්‍රකාශ මත මොණරාගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඩී.ඒ.ඩී.පී. පුෂ්පකුමාර මහතා බිබිල අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම සැකකරුගේ නිවස ඉකුත් මස 24 දා පරීක්ෂාවට ලක්කර තිබිණ.

බලපත්‍රයක් නොමැතිව නිවස තුළ ගබඩාකරතිබූ බටහිර ඖෂධ වර්ග 19 ක් සහ තවත් උපකරණ කීපයක්ද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අනුව 2015 අංක  05 දරණ ඖෂධ නියාමන පනත යටතේ මෙම සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණ. අත්අඩංගුවට ගෙන තිබූ ඖෂධ වර්ග බැහැර කිරීම සඳහා ඖෂධ අධිකාරියට බාර දෙන ලෙසද නියෝග කෙරිණ.
       
මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඩී.කේ.අධිකාරි මහතාගේ උපදෙස් මත මෙම නඩුව පවරා තිබූ අතර බදුල්ල ආහාර හා ඖෂධ පරීක්ෂක ජේ.ඒ.සමරජීව මහතා මෙම නඩුව මෙහෙයවීය.