වඳවීයන සතුන් රට පැටවීමට තැත් කළ රුසියානු ජාතිකයන්ට දඩ


(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළදී අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන්  550 ක්  සහ  ශාක කොටස් රැසක් රැගෙන යාමට තැත් කළ  රුසියානු ජාතිකයින්  තිදෙනෙකු  මාර්තු 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (03) නියෝග කළේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සිටින, දැනට මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන් ඇතුළු සත්ත්ව විශේෂ හා වටිනා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් විශේෂ බහාලුම්වල බහා මෙරටින් රැගෙන යාමට ඔවුන් තැත්කරමින් සිටියදී වනෝද්‍යාන නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.


වනෝද්‍යානය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මිය නොගිය  සතුන් නිදහස් කිරීමටත්, අනෙකුත් සතුන් හඳුනා ගැනීමට කෞතුකාගාරය වෙත  යවීමටත්, ශාක කොටස් පේරාදෙණිය උද්භිද උද්‍යානයට භාරදීමටත්, සතුන් අල්ලා ගැනීමට භාවිතා කරන ලද රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත්  පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්‍ත්‍රාත්වරයා වැඩිදුරටත්  නියෝග කළේය.

වඳවීයාමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතට ඇතුළත් කර ඇති හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ සිටින සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් වර්ග 550 ක් විශේෂ ඇසුරුම්වල බහා හොර රහසේ රුසියාවට රැගෙන ගොස් ජාන මංකොල්ලයක නිරතවීමට කටයුතු කර ඇති බව  ඇති බව හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.