වතුරේ ගිය කෝටි 114ක් ඖෂධ සංස්ථාව ඉතිරි කරලා


(සුජිත් හේවාජුලිගේ)

ඖෂධ හදිසියේ මිලදී ගැනීම නැවැත්වීමෙන් රුපියල් කෝටි 114කට වැඩි මුදලක් ඉතිරි කරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

මේ අතර රටේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට භාවිතා කෙරෙන ඖෂධ 1200න් දැනට හිඟයක් පවතින්නේ ඖෂධ තිස් පහකට වඩා අඩු සංඛ්‍යාවක් පමණක් බව පැවසූ ගුණසේන මහතා පසුගිය රජය ඖෂධ හදිසියේ මිලදී ගැනීම නිසා විශාල මුදලක් නැති නාස්තිවූ බවද හෙතෙම සඳහන් කළේය.

රුපියල් තුන් සියයක් පමණ වටිනා එක්තරා ඖෂධයක් පසුගිය රජය හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 50,000 මිලදීගෙන තිබූ බවත් ඒ කතාව ඇසීමෙන් සමහරුන් සිහිමූර්ජා පවා විය හැකි බවත් සභාපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව 2020 වර්ෂයේ සිට හරි මිලදී ගැනීම් නැවැත්වූ බව පැවැසු ප්‍රසන්න ගුණසේන මහතා තමා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් වනවිට ඖෂධ 300ක පමණ හිඟයක් රටේ පැවතුණු බවද ප්‍රකාශ කළේය.