
(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරින් මේ වනතුරුත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය කියයි.
මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා භාරදී මාස තුනක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතු අතර එයින් ජයගත් අපේක්ෂකයන්ට දිවුරුම් දීමට පෙරාතුව එම ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතුය.
නාමයෝජනා භාර දී අවසන් වී මේ වනවිට මාස පහකට ආසන්න කාලයක් ගතවී තිබේ.
මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 7452 ක් ඉදිරිපත් වූ අතර එයින් අති බහුතරයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැතැයි වාර්තා වන බවත් එසේ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති අයගේ නාම ලේඛනය ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසම වෙත අයදුම් පතක් යැවූ බවත් ඊට පිළිතුරු ලද වහා එම තොරතුරු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ලබාදීමට බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එසේ භාර දුන් පසු අල්ලස් කොමිසම අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඇතැයි විශ්වාස කරන බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ජයග්‍රාහී අපේක්ෂකයන් දිවුරුම් දීමට පෙරාතුව මැතිවරණ කොමිසම වෙත වත්කම් බැරකම් ප්‍රකාශය භාරදිය යුතු අතර දිවුරුම් දීමෙන් පසු කථානායකවරයාට ද එම ප්‍රකාශය භාර දියයුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
එකී ජනතා නියෝජිතයන් අතරින් අමාත්‍ය මණඩලයට පත්වන පිරිස් නැවතත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර දිය යුතු අතර ඒවා ජනාධිපතිවරයා වෙතද භාර දිය යුතු බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

