වඩිවෙල්ගේ වරප්‍රසාද ප්‍රශ්නය අධිකරණ තීන්දුවෙන් පසුව ගන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ රාජගිරිය කාර්යාලයේ ඉකුත් සැප්තැම්බර් 8 වැනිදා වූ සිද්ධියක් සම්බන්ධයෙන්  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයට සම්බන්ධ කාරණය පිළිබඳව අධිකරණයට අපහාස කිරීමෙි නඩුවක් ද විභාගයට ගැනෙන බැවින් එය කතා කළ යුත්තේ  අධිකරණ තීන්දුවෙන් පසුව යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

හිටපු ඇමතිවරුන් පිරිසක් ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ රාජගිරිය කාර්‍යාලයට සැප්තැම්බර් 8 වෙනිදා දොරවල් කඩාගෙන පැමිණ තමාට ජීවිත තර්ජනය කළැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා (සජබ) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය .

වඩිවෙල් සුරේෂ් මහතා මෙහිදී සඳහන් කළේ තමා අදාල සිද්ධිය ගැන වැලිකඩ පොලීසියට පැමිණිලි කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා:-

අදාල සංගමය පිළිබඳ අධිකරණයේ නඩුවක් තිබුණා. ඒ අනුව යෝගරාජන් මහතා පත්කර තාවකාලික නියෝගයක් ලැබුණා. එහිදී  වඩිවේල් සුරේෂ් පැමිණි නිසා ප්‍රශ්නයක් ඇතිවී එය පොලිසියටද ගොස් දැන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් දමා තිබෙනවා. එන සතියේ අධිකරණය ඊට තීන්දුවක් දේවි. අධිකරණ තීන්දුවෙන් පසු මේ ගැන කතා කරන්න. 

අධිකරණයේ තිබෙන වැදගත් කතාවක් පාර්ලිමේන්තුවේ හෙළිකළේ නැහැ .එය අපේ ස්ථාවර නියෝගවලට විරුද්ධයි .එම සංගමයේ අනෙක් නිලධාරීන් ඉන්නවා .ඔවුන් ගැන ප්‍රශ්නයක් නැහැ .අනෙක මේ සම්බන්ධයෙන් මුදල් ප්‍රශ්නයක් ද තිබෙනවා .

පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා:-(සජබ)

වඩිවේල් සුරේෂ් මහතා මතු කළේ වරප්‍රසාද ප්‍රශ්නයක් පමණයි. එම කාර්යාලයේ තිබෙන මුදල් හෝ වෙනයම් දෙයක් නැතිවුනොත් අපට යම් දිනක නඩු පැවරේවි.මෙතන ලොකු මුදලක් තිබෙනවා.මිලියන සීයකට වඩා මුදල් එහි තිබෙනවා. ඒවා තිබෙන්නේ අපේ අත්සනක් යටතේයි. ඒවා හොරකම් නොකෙරෙන බවට අප වගකීමෙන් කියනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා:-

හරීන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව කිසිම නඩුවක් නැහැ .කාගේ හෝ වරප්‍රසාද කැඩී තිබෙනවා නම් නඩුවෙන් පසුව කතා කරන්න.