වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් කුසගින්නේ


(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව සැපයෙන ආහාර වේල් සති දෙකක පමණ කාලයක් තිස්සේ නොලැබීම නිසා එම රෝගීහූ දැඩි ලෙස අසරණව සිටිති.


වටවල රෝහලේ පිරිමි හා කාන්තා වාට්ටු දෙකක් ඇති අතර එහි නේවාසිකව සිටින රෝගීන්ගෙන් අප කළ විමසුමකදී ඔවුන් පවසා සිටියේ, සති දෙකක පමණ කාලයක් තමන්ට රෝහලෙන් ලබා දෙන ආහාර වේල් නොලැබීම නිසා තමන් අපහසුතාවට පත්ව සිටින බවයි.  තම ඥාතීන්ට ආහාර රැගෙන දවසේ තුන්වේලම පැමිණිය නොහැකි නිසා ආහාර නොලැබුණු අවස්ථාවල තමන් කුසගින්නේ සිට උණුකර නිවාගත් ජලය පමණක් පානය කර සිටින  බවත් ඔව්හු පවසති.


නේවාසික රෝගීන් ආහාර නොමැතිව අපහසුතාවට පත්ව සිටින ඇතැම් අවස්ථාවල රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පෞද්ගලික වියදමින් රෝගීන්ට ආහාර පාන ලබාදෙන බව මෙම රෝහලේ නේවාසික රෝගීහූ කෘතගුණශීලීව අප සමග පැවසූහ.


රෝහලේ නේවාසික රෝගීන් සදහා දෛනිකව ආහාර සපයන කොන්ත්‍රාත්කරුට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින්  අදාල ගෙවීම් කර නොමැති නිසා එම කොන්ත්‍රාත්කරු ආහාර සැපයීම නවතා දමා ඇති බව වටවල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සනත් පෙරේරා මහතා පැවසීය. පවතින තත්වය සම්බන්ධයෙන් නුවරඑළිය දිසිත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැණුම් දී ඇති බවද ප්‍රධාන වෛද්‍ය සනත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.


මේ පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාරවංශ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ, වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන්ට දෛනිකව ආහාර සපයන කොන්ත්‍රාත්කරු නුවරඑළිය දිස්ත්‍රික්කයේ  තවත් රෝහල් කීපයක නේවාසික රෝගීන්ට ආහාර සැපයීම කරන බවත්, ඔහුගේ ආහාර සැපයිම සම්බන්ධව පැවති ගැටළු නිසා පරීක්ෂණයක් පවත්වා මේ වන විට එය අවසන්වී ඇති හෙයින් කොන්ත්‍රාත්කරුගේ ගෙවීම් සිදුකරන ලෙස  පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයාට දැණුම්දී ඇති බවත්ය.


වටවල ප්‍රාදේශිය රෝහලෙන් දෛනිකව ප්‍රථිකාර ගැනීමට පැමිණ නේවාසිකව සිටින බහුතරයක් රෝගීන් වතු කම්කරු හා දුගී ගැමි ප්‍රජාව වෙති.