වකුගඩු දන්දීම තෙගුණයකින් වැඩි වෙයි


(වීනීතා එම් ගමගේ)

මොළය  මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු දන්දීම ඉකුත් වසරට වඩා මේ  වසරේ  තෙගුණයකින් වැඩිවී ඇතැයි ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

වකුගඩු රෝගීන්ට බද්ධ කිරීම සඳහා මොළය මිය ගිය රෝගීන්ගේ වකුගඩු 6ක් 2016 වසරේ දී ලැබී තිබු අතර මේ වසරේ ගතවූ මාස 9 දි පමණක් වකුගඩු 19ක් ලැබී ඇති බව හේවගේ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම කටයුත්ත පිළිබඳ සමාජය දැනුවත්වීම හේතුවෙන් මෙසේ මියගිය අයගේ වකුගඩු ලබා ගැනිමට හැකිවී ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීය.

කෙසේ වෙතත් මෙම කටයුත්ත සරල එකක් නොවන බවත්  එය සාමූහික ප්‍රයන්තයක ප්‍රතිපලයක් බවත් ඒ මහතා පැවසීය.

විශේෂයෙන් ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශයේ වි‍ශේෂඥ වෛද්‍යවරයා සහ මෙරට සියලුම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල වෛද්‍යවරුන්ගේ ද සහය නොමැතිනම් මෙම කටයුත්ත කිරීමට නොහැකි වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම දැඩි සත්කාර ඒකකයක දී මියගිය අයකුගේ ඥාතින් දැඩි කම්පනයකින් පසුවන අවස්ථාවක ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන මෙම දන්දීම විශේෂයෙන් අගය කළ යුතු යැයි ද අධ්‍යක්ෂවරයා තව දුරටත් පැවසිය.