ඒ 1974 අවුරුද්ද,
මට මතක හැටියට එතකොටත් මම ඉස්කෝලෙ යනවා. උසස් පෙළ පංතියෙ ඉගෙන ගත්තෙ.
නමුත් මම ඊට අවුරුදු ගණනාවකට කලින් ඉඳලම ගුවන් විදුලියට ආවා ගියා. මල්කාන්ති නන්දසිරි මගෙ ලොකු අක්කගෙ අතේ එල්ලිලා ගුවන් විදුලියට ගිය මම මුලින්ම ළමා ගීත ගායනා කළේ ළමා පිටියෙ සංගීත සන්ධ්‍යාවෙ. ඒ වගේම ළමා රඟමඬලෙ මම නිළියක් විදිහට රඟපෑවා.
නමුත් උසස් පෙළ පංතියට ආවට පස්සෙ මට තවදුරටත් මේ ළමා නාට්‍යවල රඟපාන්නටත් ළමා වැඩ සටහන්වල ගී ගයන්නවත් බැරිවුණා. මගෙ කටහඬ වෙනස් වුණු නිසා.
ඔය අතරෙ මම නන්දා මාලනිය නිර්මාණය කරපු වේදිකා ගීත නාටකයක රඟපෑවා. ඒ වේදිකා නාට්‍යයේ නම ‘රුවැති ළඳක්’. මේ නාට්‍යය ඒ කාලෙ බොහොම ජනප‍්‍රිය නාට්‍යයක් වුණා. ඒ නිසාම නිරංජලා සරෝජනී කියන නමත් රටේ හුඟාක් ප‍්‍රසිද්ධ වෙලා තිබුණෙ. ඒ නිසාම ඉස්කෝලෙත් මම හුඟක් ජනප‍්‍රිය චරිතයක්. ඔය කාලෙ අබේවර්ධන බාලසූරිය කියන ගායන ශිල්පියා අපේ ගෙදර යනවා එනවා. ඉතිං දවසක්දා එයා මට ආරාධනා කළා යුග ගීතයක් ගයන්න. ඔය වෙද්දි මං සරල ගී පරීක්‍ෂණයෙන් පාස් වෙලා හිටියෙත් නෑ... ඒ නිසා මට ගී ගයන්න විශේෂ අවසරයක් අරගන්නත් සිද්ධ වුණා.
ඒ විදිහට ගයපු ගීතයක් තමා ‘කවුද ආවේ කවුද ආවේ’ කියන ගීතය. මේ ගීතය ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. සුනිල් අයියා එතකොට දැනගෙන හිටියා මගෙත් අබේගෙත් පුංචි පේ‍්‍රමයක් තියෙන බව. සුනිල් අයියා එදා ලියලා තිබුණෙ අපි දෙන්න ගැනමයි.
ඔය අතරෙදී තමයි මම ගුවන් විදුලියෙ සරල ගී පරීක්‍ෂණයට ඉදිරිපත් වුණේ. මට ලැබුණේ ‘ඒ’ ශ්‍රේණිය.
මේ ශ්‍රේණිගතවීමත් එක්ක මට ලැබෙනවා සරල ගී වැඩසටහනක්. ඔය කාලෙ ගුවන් විදුලියෙන් ලැබෙන සරල ගී වැඩසටහන ගායකයෙකුට නැත්නම් ගායිකාවකට බොහොම වටිනවා. ඔවුන් ශිල්ප දක්වන්නෙ මේ වැඩසටහනෙන්. ඔවුන්ගේ අනාගතය රැුඳලා පවතින්නෙත් මේ සරල ගීතවලින්. මොකද ඒ කාලෙ හොඳම සරල ගී පටිගත කරනවා. ඊට පස්සෙ ඒ ගීත නැවත නැවතත් ප‍්‍රචාරය කරන සම්ප‍්‍රදායක් ගුවන් විදුලියෙ තිබුණ. ඔන්න ඔය කාරණය නිසා ගුවන් විදුලියෙ ලැබෙන සරල ගී වැඩසටහන කියන්නෙ ගායකයෙකුට ගායිකාවට ලොකු සම්පතක්.
ඉතින් මට ලැබුණු සරල ගී පැය කාලෙදී ගායනා කරන්න මට ගීත හතරක් ඕනෙ.. එක ගීතයක් මම ලියවා ගත්තෙ දයාද අල්විස්ට කියලා. ඇය ගුවන් විදුලියෙ නිවේදිකාවක්. දයා අක්ක ඉදිරිපත් කළ කාන්තා වැඩසටහන්වලට මමත් කටහඬින් දායකත්වය දීලා තියෙනවා. දයා අක්කා හරිම ලෙංගතු කාන්තාවක්. ඉතින් දයා අක්කාට කියපු පරක්කුවෙන් මට ගීතයක් ලියලා දුන්නා.
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ
ඔය ගීතය මම සංගීතවත් කරන්න දුන්නෙ නන්දා මාලිනියට...
මේ ගීතය පස්සෙ කාලෙක රසිකයන් අතරට ගියේ කාන්තාවන් තුන් දෙනෙක් එකතුවෙලා හදපු ගීතයක් විදිහට.
එතකොට මම තවත් ගීතයක් ලියවා ගත්තේ සුනිල් ආරියරත්නයන්ට කියලා. ඒ ගීතය තමයි දියපිට ඇන්දා ආදර සිතුවම්.
සරල ගී පරීක්‍ෂණයට සහභාගි වෙන දවස්වල ඉඳලම මම පේ‍්‍රමකීර්ති ද අල්විස්ට කියලා තිබුණා මට ගීතයක් ලියලා ඕනෙ කියලා...
ඒත් සරල ගී වැඩසටහන ලැබෙනකම්ම පේ‍්‍රමකීර්ති අයියා මට ගීතයක් ලියලා දුන්නෙ නෑ.
මම දැන් ඉන්නෙ හරිම අවුලක. මම දයා අක්කටත් කිව්වා හරි වැඬේනෙ වුණේ.. පේ‍්‍රමකීර්ති අයියා මට සිංදුවක් ලියලා දුන්නෙ නැහැනෙ කියලා. ඔන්න එදා හවස පේ‍්‍රමකීර්ති අයියා දුවගෙන ආවා. ඇවිත්,
‘‘නංගී... හෙට උදේ හත වෙනකොට ඔයා වික්ටර්ගෙ ගෙදරට එන්න..’’ කියල කිව්වා.
‘‘හෙට උදේ?’’
මම ඇහුවේ ඇස් දෙක නළලට අරන්..
එතකොටත් මගෙ පපුව ගැහි ගැහි තිබුණේ.
මගෙ පළවෙනි සරල ගී වැඩසටහන නිසා මේකෙ ගීත ගයන එක මට හුඟාක් ලොකු වැඩක්.
‘‘හෙට උදේනෙ මට සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙන්නෙත්.’’
මම කිව්වෙ චෝදනාවක හඬින්
‘‘හරි ඉතින් රෙකෝඩින් එක තියෙන්නෙ කීයටද?’’
පේ‍්‍රමකීර්ති අයියා බොහොම සැහැල්ලූවෙන් ඇහුවා.
‘‘අට හමාරට’‘
‘‘ඒකනෙ ඔයා හත වෙද්දී වික්ටර්ගෙ ගෙදරට එන්න. ඔයා එනකොට වික්ටර් සිංදුවක් හදලා තියයි. ඇවිත් ටිකක් පුරුදු වෙන්න පැයක්ම තියෙනවා...’’
හිනාවෙලා එහෙම කියපු පේ‍්‍රමකීර්ති අයිය යන්න ගියා.
ඒ වෙනකොට අනිත් සිංදු ටික මම පුරුදුවෙලත් ඉවරයි.
පේ‍්‍රමකීර්ති අයියා කොහොම කිව්වත් මං හිටියෙ පුදුම විදිහට බයවෙලා. සිංදුවක් කියනව කියන්නෙ ලේසි පාසු වැඩක්ද?
කොහොම හරි පහුවෙනිදා උදේ හය හමාර වෙනකොට මම වික්ටර් අයියගෙ ගෙදරට ගියා. ඒ කාලෙ වික්ටර් අයිය හිටියෙ පාගොඩ පාරෙ ගෙදරක.
පේ‍්‍රමකීර්තිගෙ ගෙවල් තිබුණෙත් ඒ කිට්ටුව. ඉතින් මං වික්ටර් අයියගෙ ගෙදර යනකොට සංගීත භාණ්ඩවල සද්ද වගයක් එහෙම ඇහුණා.
‘‘එන්න.. එන්න නංගී....’’
පේ‍්‍රමකීර්ති අයියයි වික්ටර් අයියායි දෙන්නම කිව්වෙ එකට..
‘‘අපි ඔයාගෙ සිංදුව හදලා ඉවරයි. දෙපාරක් කියන කොට ඔයාට මේ සිංදුව පුරුදු වෙයි නංගි කියලා පේ‍්‍රමකීර්ති අයියා මට එයා ලියපු සිංදුව දුන්නා. මම ඒ වචන ටික කියෙව්වෙ පසුව ගැහි ගැහි...
ලොව නිසසල වී නවතින මොහොතේ
ලොව දොඩමළු වී නෙත් මානන කල
අපි දෙදෙනා ඉමු තරග වෙලා..
පුදුම ලස්සන වචන ටිකක්.
ඒ වෙද්දී මම හිටියෙ තාරුණ්‍යයෙ එළිපත්ත උඩ... ඉතින් මේ ආදරණීය වචන ටික මගෙ සිතට පුදුම විදිහට කිට්ටු වුණේ. ඔය කියන හැත්තෑව දශකයෙදීත් යොවුන් ආදරය රහසක් විදිහට තමයි තිබුණෙ. කරුණාසේන ජයලත් ගොළු හදවතේ ලියලා තිබුණු ආදරයම තමා හැත්තෑවේදීත් තිබුණෙ.
ආදරය කියන්නේ බැල්මකට, පුංචි හිනාවකට, ලියුමකට සීමා වුණු බැඳීමක්...
චුට්ටකින් වික්ටර් අයියා වාදනය පටන් ගත්තා. මට තිබුණෙ සිංදුව කියලා ටිකක් පුරුදු වෙන්න... පළවෙනි පාර චුට්ටක් වැරදුනා දෙවෙනි පාරත් ටිකක් වැරදුණ. ඒත් තුන්වෙනි පාර හරියටම සිංදුව කියාගන්න මට පුළුවන් වුණා. තව දෙපාරක් පුරුදු වෙලා මම කෙලින්ම ගියේ ගුවන් විදුලියට. වික්ටර් අයියයි පේ‍්‍රමකීර්ති අයියයි දෙන්නත් මගෙත්තෙක්කම ගුවන් විදුලියට ආවා...
එදා සරල ගී වැඩසටහනේ කියපු ගීත අතරින් වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ මේ ලොව නිසසල වී ගීතය. ගීතය ලොව නිසසල වී වුණාට මොකද මේ ගීතයෙන් ලොව සසල වුනා. නිරංජලා සරෝ්ජනී ගායිකාවක් විදිහට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා.
අදටත් මං ගයපු ගීත අතුරින් වැඩියෙන්ම ජනප‍්‍රිය ගීත ගොන්නේ මේ ගීතයත්, අකලට වට මහ වරුසාව ගීතයත් තියෙනවා.
ශාන්ත කුමාර විතාන



