(ඉන්දික අරුණ කුමාර සහ මහේෂ් කීර්තිරත්න)
මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
විදුලි සැර වැඳීමෙන් මියගොස් ඇත්තේ මාතලේ - සැලගම ප්‍රදේශයේ පදිංචිව සිටි රන්දිල් පියුමන්ත ජයසිරි නැමැති 24 හැවිරිදි අයෙකු සහ එම ලිපිනයේම පදිංචිව සිටි සජිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති 23 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
කුඩා ලොරි රථයකින් කොස් කැඩීමට සඳහා අංකන්ද වත්ත ප්‍රදේශයේ ඉඩමකට පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවත් කොස් ගසක් යට නතර කර තිබූ ලොරි රථයට එකවරම කොස් අත්තක් කඩාවැටුණු බවත් එම ඉඩමේ මුරකරු සඳහන් කළේය.
කොස් අත්ත අධිබලැති විදුලි රැහැනක පැටලී ලොරිය මතට කඩාවැටුණු බව ඉඩමේ මුරකරු වැඩිදුරටත් පැවසීය.
විදුලි රැහැන ඇද වැටුණු පසු ලොරි රථය ගිනි ගත් බවත් රියදුරු අසුනේ සිටි පුද්ගලයෙකු ඉන් පිටතට ඇදීමට තවත් පුද්ගලයෙකු උත්සහ කරන අයුරු දුටු බවත් ඉඩමේ මුරකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් වැඩිදුර විමර්ෂන මාතලේ හා මහවෙල පොලිසිය මගින් සිදුකරන බවත් පොලිසිය කීය.



(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )

