ලබන සතියේ සිට නොමිලේ ‘වයිෆයි‘?


නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හා පුරා කියා රටම ආවරණය වන අන්දමින්  ලබන සතියේදී ආරම්භ කිරීමට සැළැසුම් කර තිබෙන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ  වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පැවසීය.

මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා සඳහන් කළේය.

එම උත්සවයට සමගාමීව පොළොන්නරුව,යාපනය,මාතරත් ‘වයි ෆයි‘ කලාප ඇරැඹෙයි.එවැනි කලාප විස්සක් පමණ ලබන සතියේදී ඇරැඹිමට ඉලක්ක කැරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘වයි ෆයි‘ කලාප පිහිටුවීම සිදුවන්නේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සීයේ වැඩසටහන යටතේ දුන් පොරොන්දුවක්  ඉටු කිරීමේ  ප්‍රතිපලයක් ලෙසිනි.

මෙම වසර අවසන් වීමට පෙර රටපුරා ‘වයි ෆයි‘ කලාප දහසක් ඇරැඹිමට සැලැසුම් කැරගෙන යයි.

 විදේශ ඇමැති මංගල සමරවීර  නියෝජ්‍ය ඇමැති අජිත් පි පෙරේරා  මහත්වරුන්ගේ උපදෙස් මත ‘වයි ෆයි‘ කලාප ස්ථාපිත කිරීම සිදු වෙයි.

‘වයි ෆයි‘කලාප  බිහි කිරීමේ කටයුත්ත සිදු වන්නේ තොරතුරු  සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් ,කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්තන් කනගේ යන මහත්වරුගේ අධික්ෂණය යටතේ සිදු වෙයි.

මෙම සත්කාරය සඳහා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දිලීප විජේසුන්දර ,මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූපසිංහ ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය ලංකා බෙල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් සමරවික්‍රම  ලංකා කොම් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය රෝහිත උදලාගම යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ එම ආයතන නිලධාරීන් සහ විදුලිය සංදේශ නියාමන කොමිසම විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බව ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පැවසීය.