ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක පෝලන්තයේ සිට යයි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මාස දෙකක කාලයක් පෝලන්තයේ පුහුණුවීම්වල නිරතවන නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව යාම විශේෂත්වයකි. එහිදී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් පෝලන්ත ඔලිම්පික් බැඞ්මින්ටන් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පුහුණුව ලබන කොරියානු බැඞ්මින්ටන් පුහුණුකරුවකු යටතේ නිලූක මෙම පුහුණුව ලැබීමට නියමිතය. නිලූකගේ මෙම විදේශ පුහුණුව සහ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා මිලියනයක මුදල් චෙක්පතක් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ඔහුට පිරිනමන ලදී. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ අතින් නිලූකට මෙම මුදල ඉකුත්දා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී පරිනැමිණ. එළැඹෙන ජුලි මස එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සිය දස්කම් අනුව ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවමින් බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් සුදුසුකම් සපුරාගත් එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා වන්නේද නිලූක වේ. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානයේ සිටියි. ඔහු මේ වන බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම් (කී‍්‍රඩක) අනුව 48 වැනි ස්ථානයේ සිටියි. නිලූක පවසන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට හොඳ සුදානමකින් පසුවන තමන්ට පෝලන්තයේදී ලබන පුහුණුව ජයග‍්‍රාහී මානසිකත්වයකට පිටුවහලක් වනු ඇති බවයි. මෙම ජාත්‍යන්තර පුහුණු කඳවුරට සහභාගිවීම සඳහා තමන්ට ශක්තියක් වු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මෙන්ම විදෙස් තරග සංචාරවලට යෑමේදී මුල සිටම අනුග‍්‍රහය දැක්වු මැක්ලරන්ස් සමාගමට ද, බැඞ්මින්ටන් සංගමයට, ඔලිම්පික් වරම් ලැබීම දක්වා උදව් කළ සැමට සිය ස්තූතිය පුද කරන බව නිලූක ‘ලංකාදීපයට’ පැවසීය. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය විසින් නිලූකට ලක්‍ෂ 10 ක මුදල් චෙක්පත පිරිනමන ලද අයුරු. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ද මෙහි සිටියි.  (ඡායාරූපය: සුමින්ද සුදර්ශණ)