ලක්ෂ 50 ක මැණික් හා ස්වර්ණාභරණ සොරාගත් අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ගාලු මුවදොර මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර අලෙවි මධ්‍යස්ථානයක සේප්පුව විවෘත කර රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් මැණික් හා රිදී භාණ්ඩ තොගයක් සොරාගත් එම අලෙවිසලෙහි ම සේවකයෙකු හා තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

එම සැකකාර සේවකයා සොරාගෙන ගොස් තිබූ වර්ග රැසකින් යුත් මැණික් ගල් හා රිදී භාණ්ඩ ද සොයා ගත් බව පොලිසිය කියයි.

කිසියම් තැනැත්තකු විසින් එම අලෙවි මධ්‍යස්ථානයේ සේප්පු වසා තිබූ කාමරය විවෘත කර සේප්පු දෙකක් තුළ බ්‍රිජ් කේස්  දෙකක බහා තිබූ මැණික් හා රිදී භාණ්ඩ සොරා ගෙන ඇති බවට කළමනාකරු කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

සේප්පු විවෘත කිරීම සඳහා එම තැනැත්තා සොර යතුරු භාවිත කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වී ඇත.

ඒ අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියර්ශන ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා එම අලෙවි සැලෙහි සේවකයන් තිදෙනාගෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කරමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.