ලක් ජය ලන්ඩනයේත් සමරයි


ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ පිරිස් ඉමහත් උද්දාමයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ලෝක කුසලතා ජයග්‍රහණය මහා ඉහලින් සමරනු දැකගත හැකිවිය. මේ අය අතරින් වැඩිදෙනා මෑතකදී ඉතාලිය වැනි යුරෝපයේ විවිධ රටවලින් පැමිණි තරුණ පිරිස් වීම කැපිපෙනෙන කරුණක් විය. 

මෙම පිරිස් ශ්‍රී ලාංකික හා ඉන්දියානු බොජුන් හල සහ බිම ශාලා වලට  එකතුවී  ඒවායේ සවිකර තිබු විශාල රුපවාහිනි තිර මත සජීවීව පෙන්වූ තරඟය නරඹමින් ඉතාම මිත්‍ර ශිලිව සහ සුහදව විනෝද වුහ. 

මේ තැන්වල ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු සහ අනෙකුත් ජාතීන්ද ඉතාම සුහදව තරඟය නරඹනු පෙනුනි.

සමහර කණ්ඩායම් මේ තැන් තරඟය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව කල් තියාම වෙන් කරගෙන තිබුණි. එහිදී පැමිණි පිරිස් විනෝදමත් කිරීමට ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් පවා සහභාගී කරවාගෙන තිබෙනු දක්නට ලැබුණි. මේ හැම තැනකම ඉතාම සංවර බවක් මෙන්ම විනොදශීලි බවදැකිය හැකිවිය. 

තරඟය අවසානයේ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය ලැබූ පසුව ඉන් උදම්වූ එක පිරිසක් ලන්ඩනයේ කුවීන්ස්බරි උමං දුම්රිය පල අභියස පිහිටි නාමපුවරුව රැගත් කුඹගහ මුදුනේ විශාල සිංහ කොඩියක් සවි කිරීමට කටයුතු කළහ.

තරුණ පිරිස් රාත්‍රිය පහන් වනතුරු බොහෝ තැන්වල ගී ගයමින් විනෝද වෙමින් ජයග්‍රහණයේ සතුට බෙදාගත් අයුරුද දක්නට ලැබුණි. ඒ අතර සෑම ශ්‍රී ලාංකික නිවසකම සිය අසල් වැසියන් හා හිත මිතුරන් සමඟ රුපවාහිනිය ඉදිරියට එක්වී ඉමහත් උනන්දුවකින් අවසන් තරඟය නැරඹුහ. මේ හැම තැනකම දිස්වූයේ ඉතාම විනීත උත්සවාකාර ප්‍රීතිමත් වට පිටාවකි.

මෙවර ජයගහණය සහ 1996 ලෝක ශුරතාවය ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් සමරු ආකාරයන්හි විශාල වෙනසක් දක්නට ඇති බව මේ අවස්ථා දෙකම අත්දුටු ය පැවසුහ. එදා ජයග්‍රහණය ඉතාමත් උද්දාමයෙන් සැමරූ නමුත් මෙවර මෙන් මහ පාරට දිගේ කොඩි වනමින් කෑ ගසමින් ගී ගයමින් බෙර ගසමින් නටමින්  විනෝද වීමක්  එදා සිදු නොකළ බව ඔවුන් කියති. 

අද ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් බොහෝදෙනා තරුණයින් නිසා මෙවන් අවස්ථාවල එම තරුණ ජවය පෙන්නුම් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා බව කියන වැඩිහිටි පිරිස් එම ක්‍රියාදාමයන් සමහරවිට ශික්ෂා කාමී ගුණ ගරුක බ්‍රිතාන්‍ය ජනතාවගේ විවේචනයටද ලක්වන බව පෙන්වා දෙති.