ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයත් ප්‍රංශයේ මැතිවරණත් අතර බොහෝ සමානකම් දක්නට තිබේ. පෝස්ටර්, කටවුට්වලින්ද, බැනර් හා අපේක්ෂක ඡායාරූප, තොරන් හා සැරසිලිවලින්ද තොරව ශ්‍රී ලංකාව පවත්වන පළමු මැතිවරණය මෙය බව පෙනේ.
ප්‍රංශයේද මැතිවරණයද බොහෝ විට නිසොල්මනේ පැවැත්වේ. 1978 දී ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් ලක්ෂණ ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් කොපි කරන ලද නමුත් ප්‍රංශ මැතිවරණ ක්‍රමය කොපි කළේ නැත.
ඔහු එදා එසේ එම මැතිවරණ ක්‍රමය කොපි කළානම් කොපමණ ජීවිත හානි වළක්වාගන්නට තිබුණාද? කොපමණ බඩු භාණ්ඩ ආදී සම්පත් රැක ගන්නට තිබුණාද? ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවලින් පරිසරයට සිදුවන දූෂණය කෙතරම් දුරට වළක්වා ගන්නට තිබුණාද? ඕසෝන් ස්ථරය කොපමණ දුරට රැක ගන්නට තිබුණාද?
කොළඹ - නුවර පාරේ යද්දී ප්‍රධාන පක්ෂ දෙකේ ඡන්ද රැස්වීම් දෙකක් මම දුටුවෙමි. මැතිවරණයක් ඇති බව දැනුණේ රැස්වීම් භූමියේ පමණි. එම රැස්වීම්වලට සෙනගද පැමිණ සිටි නමුත් ඔවුන් පෙළපාළි උද්ඝෝෂණ පැවැත්වූයේ නැත. තිහේ දශකයේ සිට සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේ වරප්‍රසාදය ලත් ඡන්දදායකයා දැන් හොඳට පැසී ඇත්තේය.
ඒ බව මේ ඡන්දයෙන් මනාවට පෙනී යයි. අවිස්සාවේල්ල රත්නපුරය හා කලවානේද ඡන්ද කලබල බොහෝ අඩුය. ඡන්ද උනන්දුවක් ඇතත් සාමය කඩවන හෝ පරිසරය කෙළසන දෑ දක්නට නැති තරම්ය. ජනවාරි 8 වැනිදායින් පසු ශ්‍රී ලංකාවට යහපාලනයක් උදාවූ බව කියති. නව රජයෙන් වෙන මොනවා සිදු නොවූවත් එවැනි ඡන්දයක් පැවැත්වීම අති විශිෂ්ට කර්තව්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්ට ලැබුණු බලතල අනුව මේ වෙනස සිදුකළ බව පෙනේ. ඒ වෙනසේ මූලිකයා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයි.

