ලංකාවට එන්න ගුවන් යානයක් එවන්න‘යි ඉල්ලති


(විනීතා එම් ගමගේ)

සයිප්‍රසයේ සිට මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ඒ සඳහා තමන්ට ගුවන් යානයක් එවන්නය‘යි ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා  සිටිති.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සයිප්‍රසයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසක් කොන්සල් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව එරට සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ලංකාදීපයට පැවැසූහ.

තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානයක් සූදානම් කර දීමට සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පියවර ගෙන නැතැයිද ඔව්හු චෝදනා කරති.
 
තමන් බොහෝ දෙනෙක් මේ වනවිටත් වෙනත් ගුවන් සේවාවක ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගෙන ඇතැයි කී ඔව්හු කොන්සල් කාර්යාලය උත්සාහ කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් වෙන්කරගෙන තමන් ආපසු යැවීමට බවත් මේ වනවිට එය පවා අතහැර සිටින බව පෙනීයන බවත් ඔව්හු පැවැසූහ.

එම ගුවන් සේවයේ ප්‍ර වේශපත්‍රයක් යුරෝ 350 ක් වැනි මුදලකට තමන් ලබා ගත් නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වෙනුවෙන් යානයක් වෙන්කර එවුවහොත් ප්‍රවේශපත්‍රයක් යුරෝ 800 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔව්හු කියති. මෙවැනි ආපදා අවස්ථාවක එවැනි අතිරේක මුදලක් තමන් සතුව නැති බවත් ඔවුහු කියති.

කොරෝනා වයිරසය පැතිරීමට කලින් ගුවන් ටිකට් පත් වෙන්කරගත් අය පවා තම පිරිස අතර සිටින්නේ යැයි ද විවිධ රෝගා බාධවලින් පෙලෙන්නන් මෙන්ම තම මවුපියන් මිය ගිය හේතුවෙන් මව්බිමට පැමිණීමට සූදානමින් සිටින්නන් ද මේ අතර වන බව කී එම ශ්‍රී ලාංකික පිරිස කටාර් ගුවන් සේවය සමග සාකච්ඡා කර එහි ගුවන් යානයක් මගින් තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියහ.