ලංකාව - මාලදිවයින අතර එමිරේට්ස් ගුවන් ගමන් ලබන 1 වැනිදා සිට ඇරඹේ


( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් සේවා සැප්තැම්බර් 01 වැනිදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරයි.

කොළඹ සහ මාලේ අතර ලබන පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වන බව ද එම ගුවන් සේවය වැඩිදුරටත් කියා සිටී.

මෙම ගුවන් ගමන් සඳහා බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගැනීමට නියමිතව ඇත.

මේ අතර ඔක්තෝම්බර් මාසය මැද වනවිට සමාගම විසින් මාලේ සහ ඩුබායි අතර ගුවන් ගමන් දිනකට හතරක් දක්වා වැඩිකරන බවද එමිරේට්ස් සමාගම සඳහන් කර සීටී.

ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරක කර්මාන්තය සහ අපනයන කර්මාන්ත වර්ධනය කරගැනීම සඳහා දිගුකාලීන සහයෝගයක් ලබාදී තිබෙන එමිරේට්ස් සමාගම ශ‍්‍රී ලංකාවට වසර 35 ක් සහ මාලදිවයිනට වසර 34 ක් ද ගුවන් ගමන් සිදුකර ඇත. එසේම, කළාපයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමටද එමිරේට්ස් සමාගම කැපී පෙනෙන දායකත්වයක් දක්වා ඇත.