රෝහින්ග්‍යා සිද්ධිය ගැන මානව හිමිකම් පරීක්ෂණයක්


(තරිඳු ජයවර්ධන)

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සම්බන්ධයෙන් ගල්කිස්සේ දී ඊයේ (26) ඇති වූ සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය.

එම සරණාගතයින් රැඳී සිටින බූස්ස රැඳවුම් කඳවුරට හෙට (28) යාමට තීරණය කළ බවද එම කොමිෂන් සභාව කීවේය.

එම සරණාගතයින්ට ලැබෙන සැලකිලි ගැන සොයාබලන බවත් ඉන්පසු අදාළ පාර්ශව ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බවත් එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසීය.

බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් පෙරේදා එම සරණාගතයින් රැඳී සිටි ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණය අසලට ගොස් විරෝධය දැක්වූ අතර ඉන්පසු පොලිස් බාරයට ගනු ලැබූ එම සරණාගතයින් 30 දෙනා බූස්ස රැඳවුම් කඳවුරට යොමු කෙරිණ.