මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කර තිබේ.
නායක අවුන්සාන් සුකී මහත්මිය මෙම චෝදනාවලට එරෙහිව සිය රට ආරක්ෂා කරමින් කථා කළද ජාත්‍යන්තර අධිකරණය විසින් එම තීරණය ගෙන ඇත.
මුස්ලිම් බහුතරයක් වෙසෙන අප්‍රිකානු රටක් වන ගැම්බියාව විසින් ජාත්‍යන්තර අධිකරණයේ මෙම නඩුව ගොනු කලේය. පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන තෙක් මියන්මාර හමුදාවට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එයින් ඉල්ලා තිබිණි.
ජන සංහාරක ක්‍රියා නැවත සිදුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් ද අනතුරු අඟවා තිබේ.
මියන්මාරය සෑම විටම අවධාරනය කර ඇත්තේ රඛයින් ප්‍රාන්තයේ ඇතිවූ අන්තවාදී තර්ජනයන් හේතුවෙන් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
නෙදර්ලන්තයේ හේග් නුවර පැවති නඩුවාරයේදී සාක්ෂි දෙමින් අවුන් සාන් සුකී මහත්මිය පවසා සිටියේ එය, රජයේ ආරක්ෂක ස්ථාන වලට රෝහින්ග්‍යා සටන්කාමීන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවුලුවන ලද සන්නද්ධ ගැටුමක් බවයි.
කෙසේවුවද ජාත්‍යන්තර අධිකරනයේ විනිසුරුවරුන් 17දෙනකුගෙන් යුත් මණ්ඩලය ඒකමතිකව තීරණය කළේ ජන සංහාරය වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මියන්මාරයට නියෝග කරන ලෙසයි.
මියන්මාරය තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මාස හතරක් ඇතුලත නැවත වාර්තා කළ යුතු බව මුලසුන හෙබවූ විනිසුරු අබ්දුල්කාවි අහමඩ් යූසුෆ් කියා සිටියේය.
2017 වර්ෂයේ මියන්මාරයේ රඛයින් පළාතේ හමුදා මර්දනයකදී රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දහස්ගනනක් මියගිය අතර 700,000කට වැඩි පිරිසක් ආසන්න බංගලාදේශයට පලා ගියහ.
(බීබීසී ඇසුරිණි - 085)




