රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 104 වෙයි


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 12දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇත. ඒ අනුව, පස්වරු 2.05 වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1979කි. ඊයේ දිනයේදී සුවය ලබා සිටි මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1967කි.

ඊයේ(08) වනවිට රෝහල් ගතවී සිටි මුළු රෝගීන් සංඛ්‍යාව 103කි. 

ඉරානයේ සිට නෞකාවකින් ගාලු වරායට පැමිණි, නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද  තහවුරු විය. එම රෝගියා කොළඹ අයි. ඩී. එච්. රෝහලට පිටත්කර යවා තිබේ.

අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලෙන් 5දෙනෙක්ද, කාන්තන්කුඩි රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් 5දෙනෙක්ද, තෙල්දෙණිය රෝහලෙන් එක් අයෙක්ද වෙති.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර විදේශියෝ නොවෙති.

ඒ අනුව, අද පස්වරු 4.15 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2151ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.