රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී


( ටී.කේ.ජී.කපිල )

රුසියානු එරොෆ්ලොට්  ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ .

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය අද (2) උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව මෙම ගුවන් යානය අද (2) දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
ඒ සදහා ගුවන් මගීහු 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඒ අතර කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ .

 ඒ අනුව මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර , මෙම ගුවන් ගමන සදහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

මේ වනවිට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම  පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද  සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .