(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත් ගැනුම් අගය 158.11ක් ලෙස සටහන් විය.
මේ අනුව එම අගය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ පහළම අගය වූ අතර මේ සතියේදී රුපියල අඛණ්ඩව පහත වැටුණු සිව්වැනි අවස්ථාව විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9 කින් අවප්‍රමාණය වී තිබේ.
පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
ඉන්දීය රුපියල අගෝස්තු 16 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අව ප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
|
||||||||||||||||||||||||||||||

