(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

එලෙස අත් අඩංගුවට ගැනීමේ අව නම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් , ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමේ සදහන් කර ඇත.
හිටපු අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු ලාංකිකයෙකි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.හිටපු අමාත්‍යවරයෙකි.මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණවේදය ජාතික ඩිප්ලෝමාව හැදැරූ අයෙකුද වේ.උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව 2000 වසරේදි පූර්ණ කාලීන ලෙස දේශපාලනයට පිවිසි අතර එම වසරේදී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද , ඉන්පසුව පිළිවෙලින් 2001 , 2004 ,2010 සහ 2015 වසර වලදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය වලදී එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි යළිත් තේරී පත් වූයේය.එසේම පෙත්සම්කරු ඉකුත් දශක දෙකකට ආසන්න කාලයක් තුල පිහිටවූ ආණ්ඩු වල අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ අයෙකු වේ.2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පසුව පිහිටවූ රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පසුගිය රජය සමයේ මෙරට සිදු වූ පාස්තු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.පෙත්සම්කරුද එම තේරීම් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කල අතර ඒ ගැන එම කාරක සභාව තමන් ගෙන් ප්‍රශ්න කෙරිණි.ඉන්පසුව එම කාරක සභාව නිකුත් කල වාර්තාව අනුව පෙත්සම්කරු එම ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් නැති බව කරුණු තහවුරු විණි.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය ජූලි 08 , 09 දිනවල රහස් පොලිසියට පැමිණෙන ලෙස පෙත්සම්කරුට දැනුම් දී තිබිණි.ඒ අනුව එම රහස් පොලිස් නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කෙරිණි.එම නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කර සිටියේ පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පුපුරුවා ගත් බෝම්බකරු වන ඉන්සාෆ් අහම්ඩ් සහ ඔහුගේ පියා වන මොහොමඩ් ඉබ්‍රාහිම් ගැනය.ඔවුන් සමග පැවති සම්බන්ධතාවය ගැන පෙත්සම්කරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.
මෙම ප්‍රශ්න කිරීම් වලින් පෙත්සම්කරුට තේරුම් ගියේ තවදුරටත් පරීක්ෂණ කර තමන් කුමන අවස්ථාවකදී හෝ අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ පවතින බවය.එසේම එක්තරා කණ්ඩායමක් විසින් පෙත්සම්කරුට එරෙහිව බොරු සාක්ෂි ඉදිරිපත් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට දැන ගන්නට ලැබී තිබිණි.
එබැවින් මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු ගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
ඒ අනුව එම ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , වන්දි ලෙස රුපියල් කෝටි පහක මුදලක් අය කර දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

