රිෂාඩ් - රවී ගැන විමර්ශන මැතිවරණයට බාධා නොවන පරිදි සංශෝධනය කෙරේ


(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ රවී කරුණානායක මහතාට අධිකරණයේ ලබා දී තිබූ නියෝග විමර්ශනවලට සහ මැතිවරණ කටයුතුවලට බාධා නොවන පරිදි සංශෝධනය කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (24) තීරණය කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවතින විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබන 27 වැනිදා පෙරවරු 9.00 ට එම දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ලැබ තිබුණේ ඉකුත් 21 වැනිදාය.

තම සේවාදායකියන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් වන බැවින් මෙම ප්‍රකාශ ලබාදීම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් ලබා දෙන ලෙසට හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝග සංශෝධනය කළේය.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාව වෙත ලබන 27 වැනිදා උදේ 9.00 ට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළේය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබන 27 වැනිදා පෙරවරු 9.00 සිට පැය හතරහමාරක කාලයක් පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසට ද අධිකරණය නියෝග කළේය.