රිය අනතුරකින් වෛද්‍යවරු තිදෙනෙක් ඇතුළු 5 ක් රෝහලේ


(එස්. ඩි.කොඩිකාර )
 
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ වරල්ල ගල්කඩු පල්ලමේ දී අද (7) දහවල් වෛද්‍යවරුන් තිදෙනෙකු රැගත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත්  වෑන් රථයක් සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් වෛද්‍යවරු තිදෙනා ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව කොස්මෝදර පොලීසිය කියයි.
 
මොරවක  රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
 
ඉන් වෑන් රථයේ රියදුරු සහ එහි  ගමන් ගත් ඉන්දියානු වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා ඇති අතර වෑන් රථයේ ගමන් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන  අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා සහ බස් රථයේ රියදුරු ද අනතුරින් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි . 
 
වෑන් රථය දෙනියාය මුලික රොහලේ ව්‍යාපෘතියක් නිරීක්ෂණය කර නැවත යමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති අතර බස් රථය මොරවක ප්‍රදේශයේ සිට වරල්ල දෙසට පාසල් සිසුන් රැගෙන යාමට පැමිණෙන අතර තුර  මෙම අනතුර සිදුවී ඇතැයි  පොලීසිය කියයි .