(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය සළකා බැලීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (21) නොතිසි නිකුත් කළේය.
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිට ඇප ලබා දී තිබිණි.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් එලෙස නොතිසි නිකුත් කළ විනිසුරුවරයා ලබන මාර්තු මස 05 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
මෙම පෙත්සම මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා හමුවේ විමසීමට විරුද්ධත්වයක් නොමැති බවට දෙපාර්ශවයේ නීතීඥවරුන් කළ මීට පෙර අවස්ථාවක කරන ලද දැනුම්දීමකට අනුව මෙම පෙත්සම විමසන ලදී.
ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දමා රාජිත සේනාරත්න මහතා රීමාන්ඞ් බාරයට පත්කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා හමුවේ යළි කැදවනු ලැබු අවස්ථාවේදී මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කොට සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රයේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලමින් මීට පෙර දිනයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද ඊට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රයේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී ඇතැයි සදහන් කළේය.
ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන මාර්තු මස 05 වැනිදා කැදවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙහි වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට නොතිසි නිකුත් කළේය.පෙත්සම්කාර නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද පෙනී සිටියහ.

