( +++ මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප පිට මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ (08) ප්‍රතිශෝධන අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කළේය.
ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට නොගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවතදමා රාජිත සේනාරත්න මහතා රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටී.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොරු රැවුල්වලින් සැරැසූ පුද්ගලයින් දෙදෙනකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප දීම හේතුවෙන් විමර්ශන කටයුතු විධිමත් ලෙස කරගෙන යෑමට නොහැකි වූ බව ද නීතිපතිවරයා අයැදුම්පත්‍රයේ සඳහන් කර ඇත.
සිද්ධියට අදාළව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකළත් ඔහු දින කීපයක් සැඟවී සිටි බවත් අනතුරුව පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම නිසා සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවත් මේ සම්බන්ධ සියලු කරුණු අධිකරණයට දැනුම් දුන් බවත් නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටී.
අපරාධ සිද්ධියක ප්‍රධාන විමර්ශකයා වන්නේ මහේස්ත්‍රාත්වරයා බවත් අපරාධය හෙළිකරගැනීම සඳහා ඔහු විමර්ශන නිලධාරීන් මෙහෙයවිය යුතු බවත් මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එලෙස කටයුතු කර නොමැති බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත.
සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් හෝ නොගෙන තිබූ අවස්ථාවක ඔහු ඇපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් විමර්ශනවලට බලවත් අගතියක් සිදුවී ඇති බවත් පෙන්වා දෙන නීතිපතිවරයා මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට ඔහු යළි රිමාන්ඞ් බාරයට පත්කිරීමට නියම කරන්නැයි මෙම ප්‍රතිශෝධන අයැදුම්පත මගින් ඉල්ලීමක් කර ඇත.

