( +++ සුජිත් හේවාජූලිගේ)
නාරාහේන්පිට ලංකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (01) පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
අසනීප තත්වය සුව අතට හැරී ඇති නිසා ඔහු මෙසේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු බව පැවසේ.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කෙරුණු විවෘත වරෙන්තුවක් අනූව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු පසුගිය 26 වැනිදා නාරාහේන්පිට ලංකා හෝහලට ඇතුළත් වූ අතර එහි දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත්තේය.
ඉන්පසුව සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේද ඔහු එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.
අනතුරුව සේනාරත්න මහතා ඇප මත මුදාහරිනු ලැබීය.
ඇප ලැබීමෙන් පසුවද රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ ඔහු අද රෝහලෙන් පිටවී යනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ සුදු වෑන් රියදුරන් බව පැවසුණු දෙදෙනාත් ඒ දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි මහතාත් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

