රාජ්‍ය සේවකයින්ගේ අත්හිටවූ ණය වාරික මේ මාසයේ වැටුපෙන් අය කෙරේ


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය.

එයට අදාල චක්‍රලේඛයක්ද මේ වන විට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ට  ලබා දී ඇති ණය සහ අත්තිකාරම් වෙනුවට ඔවුන්ගේ වැටුපෙන් අය විය යුතු ණය වාරික හා ණය පොලී අය කිරීම අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබීය.

එමෙන්ම කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි  තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.