රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට වැඩිපුර මුදල් ගෙවා මිළදී ගැනීමේ ක‍්‍රියාවලියකට එරෙහිව වෙනත් ඖෂධ සමාගමක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය වහාම එකී මිළඳී ගැනීමේ ක‍්‍රියාවලිය අත්හිටුවන ලෙසට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් නිකුත්  කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය ලබා දෙන ලදී.

සීමාසහිත මාර්ක්ස් හෙල්ත් කෙයාර් නැමැති සමාගමක් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව , එම අමාත්‍යාංශ හිටපු ලේකම් වසන්තා පෙරේරා , ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පිළිකා නාශක ඖෂධයේ සැපයුම්කරු වන සීමාසහිත ෆාර්මේස් (පෞද්ගලික) සමාගම නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අතුරු නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ මෙම පෙත්සම ඉතාම හදිසි කරුණක් සේ සලකා ඉක්මනින්ම විභාග කොට අවසන් කර තීන්දුව ලබා දීමට කටයුතු කරනා බවය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් යම් විරෝතාවන් ඇත්නම් ඒවා ලබන 31 වැනි දිනට පෙර අධිකරණ්‍ය හමුවේ ගොනු කරන්නැයිද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේය.

පෙත්සම්කාර සමාගම සිය පෙත්සමෙන් පෙන්වා දී  ඇත්තේ ‘‘බිවෙයිෂූමැබ් ’’^ BEVAEIZUMAB  &  නැමැති පිළිකා නාශක ඖෂධ එක් කුප්පියක් රුපියල් 28,500ක්  බැගින් සැපයීමට තම සමාගම ටෙන්ඩර් පතක් ඉදිරිපත් කළද එය ප‍්‍රතික්ෂේප කරමින් රුපියල් 35,000 ක් බැගින් වගඋත්තරකාර ‘‘ ෆාර්මේස් ’’ සමාගමෙන් එකී ඖෂධය මිළඳී ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් කටයුතු කළ බවයි.

තවද මාස කිහිපයක් ඇතුළත එම බෙහෙත් කුප්පි 1848ක් එක් අවස්ථාවකදීත් , තවත් අවස්ථාවකදී බෙහෙත් කුප්පි 2127 ක්ද අධික මිළට මිළඳී ගෙන ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර සමාගම වැඩිදුරටත් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ එමඟින් රජයට දෙකෝටි පනස් අට ලක්ෂ තිස් හත්දහස් පන්සියක (රුපියල් 2,58,37,500 )  රාජ්‍ය මුදලක්  නිකරුණේ වැය කොට ඇති බවය.පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා , නීතීඥ පුලස්ති රූපසිංහ හා නීතීඥ චින්තක ප‍්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටියහ.