රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට අලුත් කොමිසමක්


 

(අජන්ත කුමාර අගලකඩ)

 

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අලුතින් වැටුප් කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර  මහතා විසින් අද (14) ඉදිරිපක් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම නව වැටුප් කොමිසන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලබන අතර එහි නිර්දේශ මාස දෙකක් ඇතුළත ලබාදීමට නියමිතව ඇතැයි පැවැසේ.

රාජ්‍ය අංශයේ වැටුප් හා සේවක සංඛ්‍යා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට අමතරව මෙම නව වැටුප් කොමිසම පත් කෙරේ.

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම නව කොමිසන් සභාවට පැවරෙනු ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියලුම අයතනවල වැටුප් විෂමතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.