දහතුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලංකාදීපය කළ විමසීමක දී පැවැසීය.
කුරුණෑගල නගරයේ මෙම ගොඩනැගිල්ල පිහිටුවා තිබූ අතර එය නගරයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කුරුණෑගල මහ නගර සභාව විසින් මෙසේ කඩා දමන ලදැයි වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම පිළිබඳව භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පාර්ශ්ව දැඩි විරෝධය පළකර ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමේදී සංජීව විතාරණ මහතා සඳහන් කළේ මෙසේ කඩා ඉවත් කර ඇත්තේ ඉපැරැණි ගොඩනැගිල්ල නොව ඊට සම්බන්ධකර මෑතකදී ඉදිකරන ලද හෝටලයක කොටසක් බවය.
මෙම ස්ථානය ඉපැරැණි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක පරීක්ෂණ කර තහවුරු කරගෙන නැතැයි කී නගරාධිපතිවරයා ඒඅනුව මෙම ස්ථානය කුරුණෑගල රාජධානියේම කොටසක් බවට මෙතෙක් තහවුරු වී නැතැයි කීවේය.
එබැවින් මීට වසර 30කට පමණ ඉහතදී මෙම ස්ථානය හෝටලයක් පවත්වාගෙන යෑමට හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත කුරුණෑගල ව්‍යාපාරිකයකුට තිස් අවුරුදු බදු පදනමින් දී තිබූ බව ද ඔහු සඳහන් කළේය.
එසේ වුවද එම ස්ථානය හෝටලයකට වඩා මත්පැන් අලෙවි කරන සහ ගණිකාවන් අලෙවි කරන ස්ථානයක් ලෙස ඉතා ප්‍රසිද්ධව පවත්වාගෙන ගිය බවත් පසුව එම ස්ථානය තමන් විසින් නගර සභාවට පවරා ගන්නා ලද බවත් හෙතෙම කීවේය.
මෙම ගොඩනැගිල්ල කැඩීමට අද විරෝධය පළකරන භික්ෂූන් වහන්සේ හෝ සමාජයේ කිසිවකුත් එහි තිබූ මත්පැන් ගුබ්බෑයමට විරෝධය පළ නොකළ බව කී නගරාධිපතිවරයා මෙම ගොඩනැගිල්ල බුවනෙක යනුවෙන් ප්‍රසිද්ධ වූයේ බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකරන ලද නිසා නොව, මෙම ගොඩනැගිල් බදුගෙන හෝටලය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේ පුතාගේ නම බුවනෙක නිසා බවද සඳහන් කළේය.
විවිධ දේශපාලන බලපෑම් නිසා මේ හෝටලය සහිත ස්ථානයේ ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට පසුගිය කාලයේ ඉඩ නොදුන් බවද ඔහු කීවේය.
කඩා ඉවත් කළේ මේ කියන පැරණි ගොඩනැගිල්ලට සම්බන්ධ කරමින් මෑතකදී ඉදිකර කඩා වැටීමට ලක්වූ කොටසක් පමණක් බවත් ඉපැරැණි යැයි කියන කොටස ඒ ආකාරයෙන්ම තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර මෙම ඉපැරැණි ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (17) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානිය සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇත.
මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කරනු ලබන අතර, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. රත්නායක මහතා, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී. කුලතුංග මහතා, සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස23 (2020..07.23) වෙනිදාට පෙර එහි වාර්තාව ලබා දීමට නියමිතය.
කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.
(*** නාලක සංජීව දහනායක, *** ජයන්ත සමරකෝන් සහ *** පුෂ්පකුමාර ජයරත්න)

