රාජගිරිය කොවිඩ් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වේ


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ දී අද (26) විවෘත කළ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙහි කොවිඩ් රෝගීන් 100 දෙනකුට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති අතර කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා විශේෂ පුහුණුවක් ලද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කාසල්වීදිය කාන්තා රෝහලේ වෛද්‍ය අධීක්‍ෂණය ද ඇතිව ඒකාබද්ධව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට රටපුරා ආයුර්වේද රෝහල් 14ක කොවිඩ් ප්‍රතිකාර ඒකක පිහිටුවා ඇති අතර තවත් ඒකක හතරක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි සිසිර ජයකොඩි මහතා කීවේය.

මේ වන විට එම ප්‍රතිකාර ඒකකවලින් රෝගීන් 5,300ක් සුවය ලබා පිටවගොස් ඇති බවත්, ඔවුන්ට කිසිඳු සංකූලතා තත්වයක් මතු නොවූ බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිත 9,000ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කළේය.